තානාපති කාර්යාල දේශපාලනීකරණය කිරීම පිළිබද විවේචන ඉදිරිපත් කළත් ලෝකයේ ප්‍රධාන රටවල තානාපතිවරුන් ලෙස දේශපාලන පත්වීම් කිරීමට ජාතික ජන බලවේගය ආණ්ඩුව සූදානම් වේ.
අනුර කුමාර දිසානායක ජනාධිපතිධූරයට පත්වීමෙන් පසුව ඇමරිකා එක්සත් ජනපදයේ තානාපති මහින්ද සමරසිංහ හැර අනෙකුත් දේශපාලනිකව පත් කළ තානපතිවරුන් කැදවීමට විදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කර තිබුණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කිරීම සදහා මහින්ද සමරසිංහ තවදුරටත් එම තනතුරේ සිටිය යුතු බවට ඔහු තවදුරටත් තනතුරේ තබාගැනීම සාධාරණිකරණය කරමින් ප්‍රකාශ කර තිබුණි.
කෙසේ වෙතත් මේ වන විට තානාපතිවරු කැදවීමෙන් පුරප්පාඩුවට පත්වූ තානාපති තනතුරු සදහා අලුතින් පත්වීම් කිරීමට ආණ්ඩුව සූදානම් වේ
ඒ අනුව ඉන්දියාවේ මහ කොමසාරිස්වරිය ලෙස මහේෂිනී කොලොන්නේ පත් කිරීමට නියමිතව ඇත. ඇය විදේශ කටයුතු අමාත්‍යාංශයේ වෘත්තීය තානාපති සේවයේ නිලධාරිනියකි.
මහාචාර්ය ජනක කුමාරසිංහ ජපානයේ නව තානාපතිවරයා ලෙස පත් කිරීමට නියමිතව ඇත. හිටපු ගුවන් හමුදාපති උදේනි රාජපක්ෂ දකුණු අප්‍රිකාවේ තානාපතිවරයා ලෙස පත් කිරීමට සූදානමින් සිටින බවද ආණ්ඩුවේ ආරංචිමාර්ග පවසයි. නිමල් සේනාධීර බ්‍රිතාන්‍යයේ මහ කොමසාරිස්වරයා ලෙස පත් කිරීමට නියමිතව තිබේ. ඔහු මේ වන විට ස්කොට්ලන්තයේ තමන්ගේ ආචාර්ය උපාධිය හදාරමින් සිටින අයෙකි. මහාචාර්ය අරූෂා කුරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපතිවරයා ලෙස පත් කිරීමට නියමිත බවද ආණ්ඩුවේ ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කරයි.