අඩු මිලක් සදහන් කරමින් ලංකාවට ගෙන ආ වාහන තොගයක් හරවා යවන්න රේගුව සූදානමින්

වෙළදපොල මිලට වඩා අඩු මිලක් සදහන් කරමින් ලංකාවට ගෙන ආ වාහන රට තුළට ගැනීමට අවස්තාව ලබා නොදී ඒවා ගෙන්වූ රටවලටම යැවීමට රේගුව සූදානම් වේ.

අඩු බදු මුදලක් ගෙවීම සදහා වාහනයේ නියමිත වටිනාකමට වඩා අඩු වටිනාකමකින් යුතුව මෙම වාහන ගෙන්වීමට කටයුතු කර තිබෙන බව රේගුව අනාවරණය කරගෙන ඇත. මේ වාහනවලින් බොහෝමයක් අදාල නිෂ්පාදිත රටට ණයවර ලිපි නිකුත් කරනවා වෙනුවට ඩුබායි සහ සිංගප්පූරු වැනි රටවල් හරහා අදාල ණයවර ලිපි නිකුත් කර තිබෙන බව අනාවරණය කරගෙන ඇත.

පවතින නීතිය යටතේ වාහනවල පූර්ව නැව්ගත කිරීමේ පරීක්ෂණ සහතික මුල් රටේ බැංකුවක් විසින් අනුමත කළ යුතු වුවද ජපන් බැංකු වාහන වෙන්දේසියේ සඳහන් වටිනාකම ඉන්වොයිසිවල සඳහන් වටිනාකමට වඩා වෙනස් බැවින් මෙම සහතික අනුමත කිරීම ප්‍රතික්ෂේප කර තිබේ. මේ නිසා වාහන නියමිත මිලට වඩා අඩු මිලට ගෙන්වා ඇති බව අනාවරණය වී තිබෙන බවද රේගුව සදහන් කරයි.