යුද අපරාධ ගැන හොයන්න ඇමරිකානු රජය විසින් ලබාදුන් මුදල් නතර කිරීමට තීරණයක්

ලංකාවේ සිදුවූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් සොයා බැලීමට ඇමරිකානු රජය විසින් ලබාදුන් මුදල් නතර කිරීමට, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කාර්යාලය තීරණය කර ඇත.

ලංකාව ඇතුළු රටවල් ගණනාවක සිදුවූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ඇමරිකාව විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට මීට පෙර ආධාර ලබාදී තිබුණි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් වෝල්කර් තුර්ක් ගේ ලංකා සංචාරයට සමගාමීව ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබුණේ මේ සදහා ලබාදෙන ඇමරිකානු ආධාර නතර කිරීමට කටයුතු කර ඇති බවය.

ඒ අනුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ආධාර ලැබීම පිළිබද ගැටලුවකට මුහුණදීමට සිදුවනු ඇත.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ තීරණය අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ බහු පාර්ශවීය සංවිධානවලට ආධාර ලබාදීම සමාලෝචනයට ලක් කරන අතර අගෝස්තු මාසය වන විට එහි තීරණ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.