රනිල් සජිත් ප්‍රතිපත්ති ප්‍රකාශ අද – රනිල්ගෙන් පස් අවුරුදු දැක්මක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශ අද (29) එළිදැක්වීමට නියමිතයි.

ජනාධිපතිවරයාගේ පුළුවන් ශ්‍රී ලංකා පස් අවුරුදු සැලසුම සහිත ප්‍රතිපත්ති ප්‍රකාශය නැවත රට කඩා නොවැටෙන, ඉදිරි පස් අවුරුද්දේ ශක්තිමත් රට ගොඩ නගන දැක්මක් සහිත එකක් බවයි කම්කරු සහ විදේශ රැකියා කටයුතු පිළිබද ජනාධිපති උපදේශක මනුෂ නානායක්කාර මහතා සඳහන් කරන්නේ.

“පුළුවන් ශ්‍රී ලංකා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පස් අවුරුදු වැඩ පිළිවෙල සහිත ප්‍රතිපත්ති ප්‍රකාශය අද දිනයේදී එළි දක්වනවා. සමාජ, ආර්ථික සහ ප්‍රජාතන්ත්‍රීය වශයෙන් කඩා වැටුණ රට වසර දෙකක් ඇතුළදී ගොඩ නගලා, නැවත රට කඩා නොවැටෙන ලෙස ඉදිරි අවුරුදු පහේදී ගොඩ නගන සැලසුම තමයි අද දිනයේදී ඉදිරිපත් කිරීමට කටයුතු සූදානම් කරලා තියෙන්නේ.

සුරංගනා කතා නොවන, ආර්ථිකය, ජනතාවගේ ජීවන තත්වය ගොඩ නගන මෙහෙයුම තමයි ඉදිරිපත් කරන්නේ. රට ගොඩ නගන ඉදිරි පස් අවුරුදු මෙහෙයුම තමයි මේ ඉදිරිපත් කරන්නේ.” යනුවෙන් ඔහු සඳහන් කළා.

සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මහනායක හිමිවරුන් වෙත මුලින්ම පිළිගැන්වීමට සූදානම් ක‍ර තිබෙනවා.