අනුර මිත්‍රයෙක්ව විගණකාධිපති කරන්න හදනවා ද ?

විගණකාධිපතිවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සමග එකම විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ, විගණකාධි දෙපාර්තමේන්තුවෙන් බැහැර බාහිර පුද්ගලයෙක් පත් කරන ලෙසට ජනාධිපතිවරයා කළ යෝජනාව ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කර තිබේ.

ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නමට විරුද්ධව ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් පස් දෙනෙක් ඡන්දය ප්‍රකාශ කර තිබේ. ජනාධිපතිවරයාගේ නමක පක්ෂව ලැබී ඇත්තේ ඡන්ද තුනකි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, විපක්ෂ නායකයාගේ නියෝජිත පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා සහ සිවිල් සමාජ නියෝජිතයින් තිදෙනා ජනාධිපතිවරයාගේ නම ප්‍රතික්ෂේප කර ඇත. ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නමක පක්ෂ වී ඇත්තේ අගමැති හරිනි අමරසූරිය, සභානායක බිමල් රත්නායක, ජාතික ජන බලවේගයේ මන්ත්‍රී අබුබකර් අදම්බාවා යන අයයි.

ජනාධිපතිවරයා විසින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ විගණන නිලධාරියෙක් වශයෙන් කටයුතු කරන, කැළණිය විශ්ව විද්‍යාලයේ ජනාධිපතිවරයා අධ්‍යාපනය ලැබූ කාලයේ විශ්ව විද්‍යාලයේ සිටි අයෙක්ගේ නම යෝජනා කර තිබුණි. විගණන දෙපාර්තමේන්තුවෙන් පරිබාහිර නිලධාරියෙක් වන මෙම නිලධාරියා පත් කිරීමට ජනාධිපතිවරයා යෝජනා කර ඇත්තේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ සේවය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ නම් පසෙක තබාය.

විගණන නිලධාරීන්ගේ සංගම් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ විගණන දෙපාර්තමේන්තුවෙන් පරිබාහිර පුද්ගලයෙක් මේ සදහා පත් නොකරන ලෙසය. එසේ දෙපාර්තමේන්තුවෙන් පරිබාහිර පුද්ගලයෙක් පත් කරන්නේ නම් එය පත් කළ යුතුව ඇත්තේ සුදුසු අයෙක් එම දෙපාර්තමේන්තුවේ නොමැතිනම් පමණක් බවද වෘත්තීය සමිති ජනාධිපතිවරයාට පෙන්වාදී තිබේ