2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම අවසන්, පළමු නිල ඡන්ද ප්‍රතිඵලය රාත්‍රී 10ට පමණ…..

2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම පස්වරු 4ට අවසන් වුණා.

දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421 කදී ඡන්ද විමසීම අද (14) පෙරවරු 7ට ආරම්භ කෙරුණ අතර 2024 ඡන්ද හිමි නාමලේඛනයට අනුව මෙවර මහ මැතිවරණය සඳහා සුදුසුකම් ලැබු ඡන්දදායකයින් සංඛ්‍යාව එක්කෝටි හැත්තෑ එක් ලක්ෂ 40,354 දෙනෙකි.

අද දිනයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ කටයුතු සමස්ථයක් ලෙස සාමකාමීව සිදුවු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඡන්දය ගණන් කිරීම සඳහා දිවයින පුරා මධ්‍යස්ථාන 2,034ක් ස්ථාපිත කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කරනු ලබන අතර ඡන්ද ගණන් කිරීමේ කටයුතු සඳහා නිලධාරීන් සංඛ්‍යාව 80,000ක් පමණ අනුයුක්ත කර ඇති බව සඳහන් වෙනවා.

පළමුව තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදුකෙරෙන අතර එම කටයුතු පස්වරු 5ට පමණ වන විට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත්, පළමු නිල ඡන්ද ප්‍රතිඵලය රාත්‍රී 10 පමණ වන විට නිකුත් කිරීමට හැකි වනු ඇති බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසා සිටිනවා.