ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා ඇතුළු පාර්ශ්ව කිහිපයක් එක් වී ප්‍රථම වරට කිරි කර්මාන්තයේ යන්ත්‍ර ක්‍රියාකරුවන් සඳහා නිපුණතා සම්මුතියක් හඳුන්වා දෙයි

ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා (Fonterra Brands Lanka) සමාගම තෘතීක සහ වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC), ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරිය (NAITA), කම්කරු දෙපාර්තමේන්තුව සහ කිරි කර්මාන්තයට සම්බන්ධ තවත් සමාගම් 8 ක් සමග එක්ව සකස් කරන ලද, ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ යන්ත්‍ර ක්‍රියාකරුවන් සඳහා වන ප්‍රථම ජාතික වෘත්තීය නිපුණතා සම්මුතිය පසුගියදා නිල වශයෙන් වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා වෙත භාරදෙන ලදි. ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා සමාගමට අමතරව මිල්කෝ (පුද්ගලික) සමාගම, මැලිබන් මිල්ක් ප්‍රඩක්ට්ස් (පුද්ගලික) සමාගම, රිච්ලයිෆ් ඩේරීස් සමාගම, සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී, චෙලෝ ඩේරි ප්‍රඩක්ට්ස් (පුද්ගලික) සමාගම, නෙස්ලේ ලංකා සමාගම, පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් සමාගම සහ ලයන් බෲවරි (සිලෝන්) පීඑල්සී යන සමාගම් මෙම නිපුණතා සම්මුතිය  සකස් කිරීම සඳහා දායක විය.  

කිරි කර්මාන්ත ක්ෂේත්‍රයේ නිපුණතා විධිමත් රාමුවක් තුළට කේන්ද්‍රගත කිරීම සහ දීර්ඝ කාලයක් පුරා කිරි කර්මාන්තය තුළ සේවය කර අත්දැකීම් ලැබූ, එහෙත් තම නිපුණතා සඳහා විධිමත් වෘත්තීමය සහතිකයක් නොමැති යන්ත්‍ර ක්‍රියාකරුවන්ට එම සුදුසුකම් ලබාගැනීමට උපකාරී වීම මෙම වැඩසටහනෙහි ප්‍රධානතම අරමුණ විය. කිරි නිෂ්පාදන කර්මාන්තයට සම්බන්ධ පාර්ශ්ව රැසක දායකත්වය සහ අරමුදල් සම්පාදනය ඔස්සේ වසරක අධික කාලයක් වැය කරමින් මෙම නිපුණතා සම්මුතිය  සකස් කරන ලදි. මෙය රටේ ජාතික මට්ටමේ නිපුණතා සංවර්ධනයට දායක වීම සඳහා කිරි කර්මාන්තය දක්වන උනන්දුව හා කැපවීම මැනැවින් පිළිබිඹු කළ සාමූහික ප්‍රයත්නයක් ලෙසද හැඳින්විය හැක.

මින් ඉදිරියට ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය සමග සම්බන්ධ වී සිටින පුහුණු ආයතනවල මෙම නිපුණතා සම්මුතිය  ක්‍රියාවට නැංවෙනු ඇති අතර, එමගින් රට පුරා වෙසෙන කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ යන්ත්‍ර ක්‍රියාකරුවන්ට තම නිපුණතා සඳහා විධිමත් පිළිගැනීමක් හිමිකරගෙන තම වෘත්තීය ජීවිත වැඩිදියුණු කරගැනීමට අවස්ථාව උදා වනු ඇත.