හත් දෙනෙකුට ජීවිතය දුන් විහඟනා උසස් පෙළ ඉහළින් සමත් වෙයි.

පසුගිය මාර්තු මාසයේ කුරුණෑගල ශික්ෂණ රෝහලෙදී මොළය අකර්මන්‍ය වීම නිසා මිය ගිය විහඟනා ආරියසිංහ ඔබට මතක ඇතුවාට සැක නැත. මරණයෙන් පසු ඇයගේ ශරීර අවයව තවත් රෝගීන් කිහිප දෙනෙකුට සාර්ථකව බද්ධකළ බව මාධ්‍යමගින් අනාවරණය කරන ලද අතර එම පුවතට සමාජ මාධ්‍ය ඔස්සේ ඉහළ ප්‍රචාරයක් ලැබුනි.

එලෙස කිහිප දෙනෙකුට ජීවිතය ලබාදෙමින් මියගිය විහඟනා මිය යාමට පෙර අධ්‍යන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයට මුහුණදී සිටියාය. එම විභාගයේ ප්‍රතිඵල ඊයේ නිකුත්වූ අතර ඇය A සාමාර්ථ ත්‍රිත්වයක් ලබාගනිමින් එම විභාගය ඉහළින්ම සමත්ව ඇතිබව වාර්තාවේ.

එම සතුට භුක්ති විඳීමට ඇය අද අප අතර නැතත්, මරණ මොහොතේ ඇය විසින් සිදුකළ උත්තම පූජාව නිසා අදවන විට වෛද්‍යවරියක ඇතුළු හත් දෙනෙක් නීරෝගීව ජීවත් වෙති.

කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ උසස්පෙළ සිසුවියක් වූ 19 හැවිරිදි විහඟනා ආරියසිංහ අඹන්පොල ප්‍රදේශයේ පදිංචි කාරිණියකි. ඇයට වැඩුමහල් සහෝදරයෙකු සහ සහෝදරියක විය. ඇගේ සහෝදරිය වයඹ විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය හදාරන්නීය. උසස් පෙළ වාණිජ විෂය ධාරාව ඉංග්‍රිසි මාධ්‍යයෙන් හදාරා සිටි විහඟනා සිය සොයුරිය මෙන්ම විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබිමට බලාපොරොත්තුව සිටියාය.

එහෙත් ඇගේ දෛවය ඊටඉඩ දුන්නේ නැත. උසස්පෙළ විභාගය නිමකර සිටි විහඟනා ආරියසිංහ අනුරාධපුර ප්‍රදේශයේ සංචාරයක් නිමකර නිවසට පැමිණීමෙන් පසු හදිසියේ රෝගී වූවාය . එහෙයින් පසුගිය මාර්තු 17 වනදා ඇය ගල්ගමුව දිසා රෝහලට ඇතුළත් කෙරුණි.

රෝගී තත්ත්වය බරපතළ වීම හේතුවෙන් ඇය එදින රාත්‍රියේම කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කරන ලදි. අසාධ්‍ය තත්ත්වයේ පසුවු ඇය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිටිය දීම මරණින් පසුව සිරුරු කොටස් දන්දීම සඳහා ගිවිසුම්ගතවූවාය .

මොළය මියයාමෙන් මරණයට පත්වන රෝගීන්ගේ අවයව වෙනත් රෝගීනට බද්ධ කිරීම අරුමයක් නොවනා මුත් විහඟනාගේ අවයව බද්ධ කිරිමේ විශේෂයක් විය. ඒ ඇයගේ හදවත සහ පෙනහළු එකම රෝගියෙකුට එකවර බද්ධ කිරීමය.
විහඟනාගේ සිරුරෙන් අවයව ලබාගන්නා අවස්ථාවේ දී පැය භාගයක පමණ කාලයක් කොළඹ ජාතික රෝහලේ විදුලිය විසන්ධි වී තිබුණ ද එය බාධාවක් කර නොගත් වෛද්‍යවරු ඉතා සාර්ථකව එම කාර්ය සිදුකර තිබුණි.
විහඟනාගේ හදවත සහ පෙනහළු එලෙසම බද්ධ කෙරුණු ලැබුවේ හෘදය හා පෙනහළු අකර්මණ්‍ය වීමෙන් අසාධ්‍ය තත්ත්වයේ පසුවු නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරියකටය. එම සුවිශේෂී සැත්කම කොළඹ ජාතික රෝහලේ දී සිදුකෙරිණි.

මීට අමතරව ඇයගෙන් ලබාගත් වකුගඩු දෙකද අසාධ්‍ය රෝගීන් දෙදෙනෙකුට සාර්ථකව බද්ධ කරන ලද අතර ඉන් එක රෝගියෙක් කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අයෙකි විහඟනාගේ අක්මාව සහ අක්ෂි පටල ද තවත් පුද්ගලයන් තිදෙනෙකුට බද්ධ කරනා ලදි. ඇගේ ශරීර අවයව කොටස් පහක් පුද්ගලයින් හත් දෙනෙකුට මේවන විටත් නීරෝගි ජීවිතයක් ලබාදී ඇත. එම සියළු දෙනා මේ වනවිටත් ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවේ .

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *