සෞදි අරාබිය සහ ශ්‍රිලංකාව අතර නාවික සබඳතා වැඩි කෙරෙයි .

ලෝක ආරක්‍ෂක ප්‍රදර්ශනය – 2026 (World Defence Show) සඳහා සහභාගී වීමට සෞදි අරාබියේ නිළ සංචාරයක නිරත වූ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර සහ සෞදි අරාබි නියෝජ්‍ය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී වයිස් අද්මිරාල් Fahad Al Ghofaily අතර නිළ හමුවක් පසුගියදා පැවැත්වූ බව ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
සෞදි අරාබි රාජධානිය සහ ශ්‍රී ලංකාව අතර නාවික සබදතාවන් ඉහළ නැංවීම පිළිබඳ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබේ.

දෙරටේ සන්නද්ධ හමුදාවන් අතර මෙහෙයුම් සම්බන්ධයෙන් වන දැනුම සහ ප්‍රායෝගික අත්දැකීම් හුවමාරු කර ගැනීමට ද මෙම සාකච්ඡාවේ දී අපේක්‍ෂා කෙරුණු බව නිවේදනයෙන් දැනුම් දෙයි.

සෞදි අරාබි රාජ්‍යයේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා නිලධාරීන් සඳහා පුහුණු අවස්ථා පුළුල් කිරීම මෙන්ම, ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිරීක්‍ෂණ හැකියාවන් සහ ගැඹුරු මුහුදේ මෙහෙයුම් ධාරිතාව ඉහළ නැංවීමට අවශ්‍ය සහාය ලබාගැනීම කෙරෙහි ද මෙම සාකච්ඡා වලදී ප්‍රමුඛ අවධානයක් යොමු වූ බව සඳහන් වේ.

නීති විරෝධී සමුද්‍රීය කටයුතු මර්දනය කිරීම සහ නැගී එන ආරක්‍ෂක අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීම මෙම ධාරිතා වර්ධන මුලපිරීම්වල මූලික අරමුණ බව පවසයි.