සූකර උණට ගැසට් එකක්

පසුගිය මාස කිහිපය තුළ මෙරට විවිධ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පැතිර ගිය අප්‍රිකානු සූකර උණ රෝගය තවදුරටත් පැතිරීම වැළැක්වීමේ අරමුණින් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත .

එම ගැසට් නිවේදනය මගින් ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක 1992 අංක 59 දරන සත්ත්ව රෝග පනත යටතේ, අප්‍රිකානු සූකර උණ රෝගය සඳහා අවදානම් ප්‍රදේශයන් ලෙස ද, ඌරන් රෝග අවදානම් සතුන් ලෙස ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අදාළ ගැසට් පත්‍රය ඔක්තෝබර් මස 3 වන දින සිට ක්‍රියාත්මක වන අතර එය ක්‍රියාත්මක වන දින සිට මාස 03කට නොවැඩි කාලයක් සඳහා වලංගු වෙයි . රෝග තත්ත්වය අනුව කාලය දීර්ඝ කිරීමේ හැකියාව ඇති බව ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත .

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය අදාළ ගැසට් නිවේදනය මඟින් සූකර උණ රෝගය අවදානම් ප්‍රදේශයන්ට සීමාකිරීමට හා පැතිරීම වැළැක්වීම සඳහා පහත සඳහන් ක්‍රියා හා කටයුතු තහනම් කර තිබෙනවා.

සත්ත්ව රෝග පනතේ 5 (4) වගන්තිය යටතේ සියලුම අවදානම් සහිත ඌරන්, ඌරු මස් සහ එම නිෂ්පාදන හෝ රෝග කාරකය මගින් අපවිත්‍ර වූ කිසිවක්, 1999 දෙසැම්බර් 03 දින අංක 1108/23 දරන ගැසට් පත්‍රයේ පළකරන ලද නියෝගයේ VII ආකෘතියට අනුකූලව කොට්ඨාස භාර පශු වෛද්‍ය නිලධාරිවරයා විසින් නිකුත් කරන ලද අවසර පත්‍රයක් නොමැතිව අවදානම් ප්‍රදේශය තුළ හෝ ඉන් පිටතට ප්‍රවාහනය කිරීම, ඉවත් කිරීම, රැගෙන යාම හෝ පලවා හැරීම.

ඉහත වගන්තිය ප්‍රකාරව ප්‍රවාහනය සඳහා නිකුත් කළ බලපත්‍රයක් නොමැති ඌරන් මස් පිණිස ඝාතනය කිරීම.

මෙම නියෝගයේ නම් කරන ලද බලයලත් නිලධාරියකුගේ අවසර පත්‍රයක් නොමැතිව ඌරන්, ඌරු මස් සහ එම නිෂ්පාදන හා රෝග කාරකය මගින් අපවිත්‍ර වූ කිසිවක්, විකිණීම, විකිණීමට පාත්‍ර කිරීම, ගබඩා කිරීම හෝ බෙදා හැරීම සහ ඌරු මස්වලින් නිෂ්පාදන සකස් කිරීම.

අදාළ රෝග හේතුවෙන් මරුමුවට පත්වූවා හෝ ආසාදිත වූවායැයි සැකයට හේතු වූ යම් සතෙකුගේ මළකුණක් හෝ එහි කොටසක් හෝ වෙනත් කිසියම් අවදානමට ලක් වූ ද්‍රව්‍යය අපහරණය කිරීම සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති මාර්ගෝපදේශයේ සඳහන් උපදෙස්වලට අනුව මිස, ජලය සම්බන්ධ කිසිඳු ස්ථානයකට දැමීම, වෙනත් සතුන් විසින් වෙනත් ස්ථානයකට හෝ ප්‍රදේශයකට හෝ රැගෙන යාමට හැකිවන පරිදි යම් ස්ථානයකට දැමීම හෝ ස්ථානගත කිරීම.

මෙම නියෝගයේ නම් කරන ලද බලයලත් නිලධාරියෙකු විසින් අනුමත කරන ලද ඝාතකාගාරයක/ගබඩාවක/ මස් සැකසුම් මධ්‍යස්ථානක හැර වෙනත් ඝාතකාගාරයක ගබඩාවක/ මස් සැකසුම් මධ්‍යස්ථානක ඝාතනය කිරීම/ ගබඩා කිරීම/ සකස් කිරීම.