නොවැම්බර් 12 වන දින සිට සති දෙකක් තිස්සේ සුළි කුණාටුවක් පිළිබඳ අනතුරු ඇඟවීම් කර තිබියදීත් රජය ඒ පිළිබඳව නිහඬව සිටි බවට විපක්ෂය නගනා චෝදනාවට නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ ප්‍රතිචාර දක්වයි. ඔහු පවසනුයේ නොවැම්බර් 12 වන දින සිට සුළි කුණාටුවක් පිළිබඳ අනතුරු ඇඟවීමක් සිදුකළ බව ඔහුන් දැන සිටියේනම් ඒ පිළිබඳව රජයට දැනුම් නොදීම සම්බන්ධයෙන් විපක්ෂයට නඩු පැවරිය යුතු බවයි.
විපක්ෂය විසින් ප්‍රකාශ කරන ලද පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හෝ වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නොවැම්බර් 12 වන දින නිකුත් කරන ලද සුළි කුණාටුවක් පිළිබඳ කිසිදු පූර්ව අනතුරු ඇඟවීමක් රජයට ලැබී නොමැති බව ඔහු එහිදී මාධ්‍යට පැවසීය .
එවැනි අනතුරු ඇඟවීමක් පිළිබඳව විපක්ෂය දැනුවත්ව සිටියේනම්, ඒ බව රජයට සහ ජනතාවට දැන්වීමට විපක්ෂයටද රජයට සමාන වගකීමක් ඇති බවත්, ඔවුන්ද ජනතාවගේ ඡන්දයෙන් තේරී පත් වූ මහජන නියෝජිතයන් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
“විපක්ෂ පක්ෂ, විශේෂයෙන් සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොවැම්බර් 12 සිට නොවැම්බර් 26 දක්වා දින 14ක් අයවැය විවාදය සඳහා පාර්ලිමේන්තුවට පැමිණ සිටියහ. ඔවුන්ගෙන් කිසිවෙකු එය පාර්ලිමේන්තුවේදී සුළිකුණාටුව ගැන කීවේ නෑ. ව්‍යසනය සිදුවන තුරු එය රහසක් ලෙස තබා ගත්තා. එවැනි ව්‍යසනයක් වැළැක්වීමේ වගකීම රජයට ඇතිවා සේම, විපක්ෂයටද වගකීමක් තියනවා .” ඔහු පැවසීය.
ඒ අනුව නීතිමය පියවර ගත යුත්තේ විපක්ෂයට එරෙහිව මිස රජයට එරෙහිව නොවන බවත්, ඔවුන් අනතුරු ඇඟවීම පිළිබඳව දැනුවත්ව සිටියදී පවා එය හෙළි නොකිරීමෙන් වඩාත් දරුණු අපරාධයක් කර ඇති බැවත් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පැවසීය .