සුරලොව යන්න කසිප්පු බී එලොව ගිය කළුතර තිදෙනා

නීතිවිරෝධී මත්පැන් පානය කර පසුව රෝගාතුරවී කළුතර – වරකාගොඩ, පහළ කරන්නාගොඩ යන ප්‍රදේශවල ජීවත්වන පුද්ගලයින් තිදෙනකු හදිසියේ ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසනවා.

එලෙස මියගොස් ඇත්තේ කරන්නාගොඩ හා ඒ අවට පදිංචිව සිටි වයස අවුරුදු 68ත් 43ත් අතර පසුවන්නන් බව වාර්තා වනවා.

මෙම පුද්ගලයින් තිදෙනාම පෙරේදා (27) රාත්‍රියේ නීතිවිරෝධී මත්පැන් පානය කර ඇති බවට ඔවුන්ගේ ඥාතීන් පවසනවා.

ඉන් එක් පුද්ගලයෙක් ඊයේ උදෑසන නිවසේදීම මියගොස් ඇති අතර තවත් අයෙක් රෝගාතුරු වීමත් සමග පෞද්ගලික ස්ථානයකින් ඖෂධ ලබාගෙන තිබෙනවා.

නමුත් එම පුද්ගලයා නැවත රෝගී වීම හේතුවෙන් රෝහලට රැගෙන යමින් සිටියදී මියගොස් ඇති බව වාර්තා වනවා.

අනෙක් පුද්ගලයා හොරණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.

මොවුන් තිදෙනාටම ඇස් නොපෙනී යාම, වමනය වැනි රෝග ලක්ෂණ තිබූ බව නිවැසියන් පවසනවා.

මීට අමතරව එම ප්‍රදේශයේම තවත් සිව්දෙනකු කළුබෝවිල, හොරණ සහ ජයවර්ධනපුර යන රෝහල්වල ප්‍රතිකාර ලබන බව වාර්තා වනවා.

මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් වරකාගොඩ පොලීසිය වීශේෂ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

එමෙන්ම එම ප්‍රදේශයේ නීතිවිරෝධි මත්පැන් විකුණන බවට ගම්වාසීන්ගෙන් ලැබුණු තොරතුරු මත එක පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුව ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් පොලීසිය පැවසුවේ මෙම මරණ සම්බන්ධයෙන් අදාළ සැකකරුගේ යම්කිසි සම්බන්ධතාවයක් තිබෙන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවයි.

සැකකරු අද (29) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසනවා.

මියගිය තිදෙනාගෙන් දෙදෙනෙකු හෘදයාබාධ ඇතිවී මියගොස් ඇති බවටත් අනිත් පුද්ගලයාගේ මරණය විවෘත තීන්දුවක් ලෙසත් හොරණ අධිකරණ වෛද්‍යවරයා නිකුත් කළ වාර්තාවේ දැක්වෙන බව පොලීසිය පවසනවා.