සිසුන්ට පොලිතින් කැවූ විදුහල්පති දෙමාපියෝ නැවත ඉල්ලති.

පාසල් ළමුන් පිරිසකට පොලිතීන් කැවීමේ සිද්ධිය සම්බන්ධයෙන් තාවකාලිකව ගම්පොළ කලාප අධ්‍යාපන කාර්යාලයට අනුයුක්ත කර සිටින නාවලපිටිය රඹුක්පිටිය මධ්‍ය මහා විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයා යළිත් පාසලට ලබා දෙන ලෙස බල කරමින් එම විදුහලේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ගේ දෙමව්පියන් පිරිසක් ඊයේ පාසල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වී තිබේ.

මෙම විදුහල්පතිවරයා පසුගිය නොවැම්බර් 21 වන දා පොලිතීන්වල ඔතා පාසල වෙත ආහාර රැගෙනවිත් තිබූ සිසුන් 7 දෙනෙකුට එම පොලිතීන් කන ලෙසට බල කර, ඔවුන්ට ඒවා කෑමට සලස්වා තිබුණු බවට පැමිණිල්ලක් ලැබී තිබිණි.

පොලිතීන් කෑමෙන් අනතුරුව ඉන් ළමුන් පස් දෙනෙකු රෝගාතුර වි නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ දින කිහිපයක් නේවාසිකව ප්‍රතිකාර ගෙන තිබිණි.

රෝහල්ගතව සිටි සිසුන්ගේ දෙමව්පියන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලක් මත නාවලපිටිය පොලිසිය විදුහල්පතිවරයාව සැකපිට අත්අඩංගුවට ගත් අතර නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකාර විදුහල්පතිවරයා පෙරේදා (දෙසැ. 4) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර පසුව සැකකාර විදුහල්පතිවරයා ඇප මත මුදා හැරීමට නාවලපිටිය මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබිණි.

උද්ඝෝෂණයේ නිරතව සිටි දෙමව්පියන් සඳහන් කළේ, දැනට තාවකාලිකව ගම්පොළ කලාප අධ්‍යාපන කාර්යාලයට අනුයුක්ත කර ඇති හිටපු විදුහල්පතිවරයා විදුහලේ විනය පවත්වාගෙන යාමට ක්‍රියාකළ බව ත් පාසලේ පරිසරය රැක ගැනීම සඳහා පාසලට පොලිතීන් රැගෙන ඒම තහනම් කර තිබියදී එම සිසුන් විසින් පොලිතීන්වල ආහාර ඔතා රැගෙනවිත් ඇති අතර ඒ සඳහා විදුහල්පතිවරයා විසින් එම සිසුන්ට දඬුවමක් දී ඇති බව ත් ය.

පාසලේ විනය සහ අධ්‍යාපන මට්ටම ඉහළ දැමීමට එම විදුහල්පතිවරයා කටයුතු කර ඇති අතර මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් සිසුන් විශාල පිරිසක් ඉහළ ප්‍රතිඵල ලබා ගැනීමට සමත් වී ඇත්තේ හිටපු විදුහල්පතිවරයාගේ කැපවීම නිසා බව උද්ඝෝෂණයේ නිරතව සිටි දෙමව්පියෝ සඳහන් කළහ.

තාවකාලිකව මාරු කර ඇති විදුහල්පතිවරයා යළිත් එම පාසලට ලබා දෙන ලෙස උද්ඝෝෂණයේ නිරතව සිටි දෙමව්පියෝ මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

විදුහල්පතිවරයා පාසල් සිසුන් පිරිසකට පොලිතීන් අනුභව කිරිමට නියෝග කිරිම සම්බන්ධයෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශය විසින් ද පරික්ෂණයක් ආරම්භ කරනු ලැබ තිබේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!