සින්වාර් ඝාතනය – තර්ජනාත්මක ප්‍රතිචාරයක්  

පලස්තීන හමාස් නායක යහ්යා සින්වාර් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය අද (18) ප්‍රතිචාර දක්වා තිබේ.

ඔවුන් පවසන්නේ ඊශ්‍රායලය සමග පවතින ගැටුම් නව ප්‍රවේශයකට සහ තවත් උත්සන්න වීමට එය හේතුවිය හැකි බවයි.

ඊශ්‍රායලයට එරෙහි ප්‍රහාර තවත් දැඩි කරන බවට ද හිස්බුල්ලා සංවිධානය අනතුරු අඟවයි.

2023 ඔක්තෝබර් 7 වනදා ඊශ්‍රායලයේ ප්‍රදේශ කිහිපයකට එල්ලකළ ප්‍රහාරය සැලසුම් කළ ප්‍රධාන පුද්ගලයා ලෙස සින්වාර් ව හඳුනාගෙන තිබුණි.

එම ප්‍රහාරය දැනට පවතින ගාසා යුද්ධයට හේතුවිය. ඉන් මියගොස් ඇති පලස්තීනුවන් ගණන 42,000 ඉක්මවයි.

61 හැවිරිදි සින්වාර් ව බදාදා (16) ගාසා හි රෆා ප්‍රදේශයේදී ඊශ්‍රායල හමුදා ප්‍රහාරයකින් මරුමුවට පත්විය.

ඔහු මියයෑමට මොහොතකට පෙර ඊශ්‍රායලයේ ඩ්‍රෝන යානයක් ඔහු අසලටම යන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.

මේ අතර හිස්බුල්ලා සහ හමාස් සංවිධාන සඳහා ප්‍රසිද්ධියේ සහාය දක්වන ඉරානය පවසා ඇත්තේ මෙම ඝාතනය නිසා ඔවුන් ලබාදෙන සහාය අඩු නොකරන බවයි.

කෙසේවෙතත් විදෙස් මාධ්‍ය පවසන්නේ සින්වාර් ගේ ඝාතනය හේතුවෙන් දැනට ඇනහිට ඇති ගැටුම් වැළැක්වීම සඳහා වූ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට මාර්ගයක් පෑදෙනු ඇති බවයි.