සෑම දෙනාටම පිළිගත හැකි සමාජ තත්ත්වයක් ලැබෙනවා නම් අපේ රටට මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ඉතා වටිනවා – රුසියාවේ හිටපු තානාපති වෛද්‍ය සමන් වීරසිංහ

තරුණ ළමයින්ට මොකද්ද කරන්නෙ කියලා තමන්ට විශ්වාසයක් නැති එක ගත්තම අද එය ලංකාවේ විශාල ප්‍රශ්නයක්. සෑම දෙනාටම පිළිගත හැකි සමාජ තත්ත්වයකට පත්විය හැකි අධ්‍යාපන ක්‍රමයක් ලැබෙනවා නම් අපේ රටට මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ඉතා වටිනවා යැයි රුසියාවේ හිටපු තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා පැවසීය.

රුසියානු සමූහාණ්ඩුව සිවිල් පුරවැසියෙක් වෙනුවෙන් පිරිනමන ඉහළම රාජ්‍ය ගෞරව සම්මානයක් වන මිත්‍රත්වය සඳහා වූ රුසියානු රාජ්‍ය සම්මානය හිමිකර ගැනීම වෙනුවෙන් ගාල්ල මහින්ද විද්‍යාලය පිරිනැමූ වෛද්‍ය සමන් වීරසිංහ අභිනන්දන උපහාරය පිළිගැනීමෙන් අනතුරුව අදහස් පළ කරමින් විද්‍යාලයීය ඕල්කට් ශාලාවේ දී පසුගිය 26 වැනිදා ඒ මහතා බව සඳහන් කළේය.

හිතන විධිය වෙනස් නොකරොත් කවදාවත් මේ තත්ත්වයේ වෙනසක් සිද්ධ වෙන්නෙ නැහැ. මේ හිතන විධිය වෙනස් කරන ලොකු කතාවක් රට ඇතුලෙ නැහැ. ඒ විධියට හිතන ප්‍රජාවක් වැඩි වශයෙන් ඉන්න රටක තමයි මේ වගේ ක්‍රමයක් ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙන්නෙ.

වෛද්‍ය සමන් වීරසිංහ

අපි දකුණු ආසියාවේ අසල්වැසි රටවල් බැලුවොතින් සිංගප්පූරුව ඉන්දියාව වගේ රටවල් අරගෙන බැලුවාම, ඒ රටවල්වල මොන තරම් දියුණුවක් තියෙනවා ද ? විශේෂයෙන් ඉන්දියාවට අදවනවිට පරිගණ ආශිත්‍ර කටයුතුවලින් , වෛද්‍ය විද්‍යාවෙන්, ඉංජිනේරු විද්‍යාවෙන් ඩොලර් බිලියන ගණනක් වාර්ෂිකව උපයනවා. ඒකට හේතුව ඔවුන්ට තියෙනවා ඉතාමත් ශ්‍රේෂ්ඨ අධ්‍යාපන ප්‍රතිපත්තියක්. එතකොට අපේ රටේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය අවශ්‍යයයි හෙතම පැවැසීය.

විදුහල්පති ජනක පේදුරුහේවා මහතා විසින් වෛද්‍ය සමන් වීරසිංහ අභිනන්දන උපහාරය ඒ මහතාට පිළිගන්වන ලද අතර ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් සම්පත් රත්නායක මහතා ද උපහාර තිලිණයක් ඒ මහතාට ප්‍රදානය කළේය.

නියෝජ්‍ය විදුහල්පති එල්.පී වීරමන්, පාසල් සංවර්ධන සමිතියේ ලේකම් නලීන් තරංග නන්දසිරි පරණගම,ආදි ශිෂ්‍ය නායක සංගමයේ ලේකම් රමේෂ් වරල්ලෙගම මහත්වරු ද එම අවස්ථාවට එක්ව සිටියහ.

විචිත්‍රවත් නර්තන හා ඇගයීම් කථනවලින් වර්ණවත් වූ මෙම උපහාර උළෙලට මහින්ද විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලය, ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන්, පාසල් සංවර්ධන සමිතියේ නියෝජිතයන්, ආදි ශිෂ්‍ය නායක සංගමයේ සාමාජිකයන්, විද්‍යාලයීය ප්‍රධාන ශිෂ්‍ය නායක වෙතුම් කේ පතිරණ ඇතුළු ශිෂ්‍ය නායකයන් හා සිසුන් රැසක් සහභාගී වී සිටියහ.

රුසියාවේ හිටපු තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා මෙසේ ද පැවසීය.

ඕල්කට් ශාලාව මට නුහුරු නුපුරුදු තැනක් නෙමෙයි. ඒ කාලේ මේ ශාලාවේ තමයි විවාද විශාල සංඛ්‍යාවක් තිබුණේ. එදා මහින්ද විවාද කණ්ඩායමේ නායකයා විධියට අවුරුදු හයක් වගේ කටයුතු කරලා තියෙනවා. ඒ නිසා ඉතා විශාල කතා ප්‍රමාණයක් මේ විද්‍යාලයීය ශාලාවේ මම කරලා තියෙනවා. ඉන් කතා 4ක් මගේ ජීවිතයේ අමතක නොවන කතා බවට පත්ව තිබෙනවා.

පළමුවැනි එක තමයි විධායක ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මැතිතුමා පාසලේ ත්‍යාග ප්‍රදානෝත්ස්වයට පැමිණි වෙලාවේ ශිෂ්‍යයකු වශයෙන් මා විසින් සිදු කරන ලද ස්තුති කතාව, දෙවැනි කතාව උනේ මම තානාපතිවරයා වශයෙන් පත්වුණාම මේ වගේම උත්සවයකදී කරපු කතාව. තුන්වැනි වතාවට මම කතා කළේ ආදි ශිෂ්‍ය සංගමය විද්‍යාලය සමඟ එක්ව විශේෂ උත්සවයක් තිවුවා ශිෂ්‍යත්ව ලබාදෙන එක සම්බන්ධව සහ මහින්ද පුත්‍ර සම්මානය ප්‍රදානය කළ උත්සවයෙදිත් මම කතාවක් කළා. අද හතරවැනි වතාවට රුසියානු ජනාධිපතිතුමාගෙන් මිත්‍රත්ව සම්මානය ගත්තට පසුව ඔබ සංවිධානය කළ මෙම උත්සවයේ කරන කතාව.

ඇත්තටම මේ කතා හතරක් ගැන මම කිවුවේ, දැන් මෙතන වාඩිවෙලා මේ කතාව අහන ඔබ, මට වඩා ගොඩාක් වාසනාවන්තයි.  හේතුව මම ඉගෙන ගන්න කාලේ, මහින්ද විද්‍යාලයේ අද තියෙන පහසුකම් තිබුණේ නැහැ. මට අද වගේ මතකයි දකුණ අත පැත්තෙ උඩ තට්ටුවේ පංතියක මම උන්නෙ, සමහර දවසට ඒකේ පුටු නැහැ. මෙසේවල තමයි වාඩි උනේ. අපි පයින් තමයි ඉස්කෝලෙට ආවේ.

හැබැයි එදා දක්ෂ ගුරුවරු හිටියා, ඒ ගුරුවරුන්ගෙන් අපි ඉගෙන ගත්තා. මට එදා අති විශාල අරමුණක් තිබුණා. අම්මට තිබුණේ මාව වෛද්‍යවරයෙක් කිරීම සිහිනයක්. ඒ නිසා හැමාදාම අම්මා මට කියපු දෙයක් තමයි ඉගෙන නොගත්තොත් මේ තත්ත්වයෙන් තමයි හැමදාම ඉන්න වෙන්නෙ කියලා. ඒක මට සෑහෙන වශයෙන් හොඳ විධියට මානසිකව බලපෑවා. පසුව උසස් පෙළෙන් පසුව මට රුසියාවේ යන්න අවස්ථාව ලැබුණා. මොස්කව් රාජ්‍ය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව මුල් අවුරුදු 5 මම ඉගෙනීම් කටයුතු කළා.

හැබැයි ව්‍යාපෘතියක් වේවා, ව්‍යාපාරයක් වේවා, මේ පාසලේ ඉගෙන ගන්න කාලේ වේවා, හැම අවස්ථාවකම මගේ ජිවිතයේ මට උවමනා උනේ ලේබලයක් නොවී ලෙගසි එකක් වෙන්න. තවත් විධියකින් කිවුවොත් නාමයක් වෙනවට වඩා උරුමයක් වෙන එක තමයි මගේ අරමුණ තිබුණේ. හැමවෙලාවෙම මම හිතුව දෙයක් තමයි ඒ වැඩේ ඉතිහාසයට යනවා කියන එක.

සමහර වෙලාවට රුසියාවේ ඉගෙන ගන්න කාලේ සමහර ශිෂ්‍යයො මට විහිලු කළා. පිස්සු කිවුවා. ඒකට හේතුව මම හැම අවස්ථාවේම දැක්කා රුසියානු සමූහාණ්ඩුව තුළින් ලංකාව එක්ක විශාල දෙයක් කරන්න පුළුවන් කියලා. රාජතාන්ත්‍රික සබඳතාවලට අමතරව පීපල්ස් ඩිප්‍රොමැසි නැතිනම් මිනිසුන් අතර සම්බන්ධතාව කියලා එකක් තියෙනවා. වෛද්‍ය ශිෂ්‍යයෙක්ව ඉන්න කාලේ ඉඳන් මට අවශ්‍ය උනේ ඒ සම්බන්ධතාව ඇති කරන්නයි. ඒක ඒ කාලේ ඉතාම සාර්ථක උනා.මොකද ඒ කාලේම තමයි සෝවියට් සංගමය කඩාගෙන වැටුණේ. සෝවියට් සංගමයට හිතවත් අය ඒ වෙලාවේ ඔවුන්ට හිටියේ නැහැ.

සමාජයට යමක් ඉදිරිපත් කරනවිට පළමුවැනි කාරණය තමයි විනය කියන එක. විනයගරුක පුද්ගලයෙක් තමන්ගෙ ඉලක්කය කරා යනවාමයි. දෙවැනි කරුණ තමයි අධිෂ්ඨානය කියන එක. තමන්ට තියෙන්න ඕන මොකද්ද කරන්න ඕන කියලා අධිෂ්ඨානයක්. ඊළඟ එක තමයි සිහිනය. මේ කරුණු ඔක්කොම සංකලණය උනාම තමයි අපට යම් දෙයක සාර්ථකත්වයක් ගන්න පුළුවන් වෙන්නෙ.

අපි හිතමු මේ වාඩිවෙලා ඉන්න පුතාලා, උසස් පෙළ ලියලා සමත් උනොත් එක්කො වෛද්‍යවිද්‍යාලයට යන්න, නැතිනම් පිටරටක යන්න රජයේ ශිෂ්‍යත්වයක් වගේ ලැබුනොත් එහෙමයි, ඒහෙම නැත්නම් පෞද්ගලිකව ශිෂ්‍යත්වයක් අරගෙන යන්න විශාල මුදල් ප්‍රමාණයක් වියදම් වෙනවා. ඔය පුතාල අද කල්පනා කරන්න ඕන එහෙම නොවුනොත් ඊළඟ ප්ලෑන් එක මොකද්ද ?

දැන් ජීව විද්‍යාව ගන්න ජීව විද්‍යාවෙන් කොතරම් වෙනත් ක්ෂේත්‍ර තියෙනවා ද ? ඒ වගේ වෙන පැත්තක් ගැන කල්පනා කරන්න ඕන. දෙසරයක් හරි තුන්සැරයක් හරි විභාගෙ ලියලා හරි නොගියොත් ඊළඟට මොකද කරන්නෙ. එහෙම නොවුවොත් කිසිම අරමුණක් නැතිව සමාජයට වැටෙනවා. තරුණ ළමයින්ට මොකද්ද කරන්නෙ කියලා තමන්ට විශ්වාසයක් නැති එක ගත්තම අද එය ලංකාවේ විශාල ප්‍රශ්නයක්. එතකොට වෙන්නෙ සමහර වෙලාවට තමන්ට ගැලපෙන්නෙ නැති රස්සාවක් කරන්න වෙනවා. එක්කො දේශපාලඥයන් පසු පස යන්න වෙනවා. එක්කො රැකියාවක් ගන්න. එහෙම නැත්නම් කොන්ත්‍රාත් එකක් ගන්න ආදි මොකක් හරි දෙයකට. අද ෆේස්බුක් එක බැලුවත්. ටි.වි එක බැලුවත්, පත්තරේ බැලුවත් මට වඩා හොඳට ඔබට ඒක තේරෙනවා. හිතන විධිය වෙනස් නොකරොත් කවදාවත් මේ තත්ත්වයේ වෙනසක් සිද්ධ වෙන්නෙ නැහැ. මේ හිතන විධිය වෙනස් කරන ලොකු කතාවක් රට ඇතුලෙ නැහැ. ඒ විධියට හිතන ප්‍රජාවක් වැඩි වශයෙන් ඉන්න රටක තමයි මේ වගේ ක්‍රමයක් ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙන්නෙ.

අපි දකුණු ආසියාවේ අසල්වැසි රටවල් බැලුවොතින් සිංගප්පූරුව ඉන්දියාව වගේ රටවල් අරගෙන බැලුවාම, ඒ රටවල්වල මොන තරම් දියුණුවක් තියෙනවා ද ? විශේෂයෙන් ඉන්දියාවට අදවනවිට පරිගණ ආශිත්‍ර කටයුතුවලින් , වෛද්‍ය විද්‍යාවෙන්, ඉංජිනේරු විද්‍යාවෙන් ඩොලර් බිලියන ගණනක් වාර්ෂිකව උපයනවා. ඒකට හේතුව ඔවුන්ට තියෙනවා ඉතාමත් ශ්‍රේෂ්ඨ අධ්‍යාපන ප්‍රතිපත්තියක්. එතකොට අපේ රටේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය අවශ්‍යයයි.

සෑම දෙනාටම පිළිගන්න පුළුවන් සමාජ තත්ත්වයකට පත්වෙන්න පුළුවන් ක්‍රමයක් ඒ අධ්‍යාපන ක්‍රමය තුළින් ලැබෙනවා නම්, ඒක තමයි ඒ ප්‍රතිසංස්කරණයේ තියෙන එකම වටිනාකම. අද ඕන දරුවෙක් ගෙන් ඇහුවම කියන්නෙ එක්කො දොස්තර කෙනෙක් වෙනවා. නැත්නම් ඉංජිනේරුවෙක් වෙනවා කියලා. කිසිම කෙනෙක් ඊට අඩු තැනකින් කතා කරන්නෙ නැහැ. ගෙදරක් ගානේ දොස්තරලා හිටියත් මේක කරන්න බැහැ. ඒක නිසා ඒක වෙන්නෙ නැති දෙයක්. ඒක අපි පිළිගන්න ඕන.

හැබැයි දොස්තරටත් ඉංජිනේරුවටත් වඩා ඉහළට යන්න ක්‍රම තියෙනවා. අපි හිතමු ජීව විද්‍යාව ඉගෙන ගන්න කෙනෙක් අති විශිෂ්ට ලෙස රසායනික විද්‍යාව ඉගෙන ගත්තා කියලා. ඔහුට රසායන විද්‍යාවෙන් ඉදිරියට යන්න පුළුවන්. රසායන විද්‍යාව අද ලෝකෙ තියෙන ඉතා වටින විෂයක්. මම මහින්ද විද්‍යාලයේ ඉගෙන ගන්න කොට ආසම විෂය තමයි රසායන විද්‍යාව. අම්මට දීපු පොරොන්දුව කඩන්න බැරි කමට මම වෛද්‍යවරයෙක් උනත්,

ඒ කාලේ මට අද වගේ මතකයි යාළුවොත් එක්ක සමහර සංයෝග අපි හදනවා ඒ හදපු සමහර සංයෝග ලෝකෙ නැද්ද කොහෙද ? ඒ වගේ දැනුමක් අපට ඒ කාලේ තිබුණා. මේ දරුවන්ට පුළුවන් ඒ වගේ යම් විෂයක් පිළිබඳව යම් දැනුමක් එක් කරගන්න.

මේ ශාලාවේ ඉන්නවා වාණිජ විෂය හදාරණ දරුවන්. ඔබට අන්තර්ජාලය හරහා බොහෝ දේවල් ඉගෙන ගන්න පුළුවන්. හැම මාස තුනකටම සැරයක් ඉකොනොමික්ස් කියලා සඟරාවක් එනවා. සම්පූර්ණයෙන්ම යුරෝපා සංගමය සහ ලෝකයේ ආර්ථික ප්‍රවණාතා ගැන තමයි මේ සඟරාවේ තියෙන්නෙ. ඒවා බලලා ඔබට ඉගෙන ගන්න පුළුවන්. හැබැයි ඒකේ තියෙන දේවල් ප්‍රශ්නයක් හැටියට උසස් පෙළට එන්නෙ නැහැ. එහෙත් අපි හිතමු විශ්වවිද්‍යාලයට ගියේ නැහැ කියලා, මොනවා හරි අමතර පාඨමාලාවක්, ඩිප්ලෝමාවක් කරලා එතැනින් ක්‍රමයෙන් ඔබට ඉදිරියට එන්න පුළුවන්. සමහරවිට විශ්වවිද්‍යාලයට ගිය පුද්ගලයට වඩා ඔබ ඉහළට එනවා. ඒකට හේතුව බාහිර දේවල් සම්බන්ධයෙන් ඔබට තිබෙන දැනුම සමහරවිට අර විශ්වවිද්‍යාලයට ගිය ශිෂ්‍යට නැහැ.

අද ලෝකයට උවමනා කරන්නෙ කාර්යශූර, හොඳට දන්න අයව මිසක් පොතේ තියන දේම ගිහිං කරන අය නෙමෙයි. ඉස්සරහට වෙන දේ ගැන උපකල්පනය කරන්න හොඳ දැනුමක් එමගින් ලැබෙනවා වෙන්න පුළුවන්. දැන් මෙතන ඉන්න වානිජ විෂය කරන දරුවන්ගෙන් අහන්න පුළුවන් තව මාස හයකින් ඩොලර් එකට මොකද වෙන්නෙ කියලා, හැමෝම ඒ ගැන අදහසක් නැතිව බලාගෙන ඉන්න පුළුවන්. ඒ ඩොලර් එක ලංකාවට බලපාන්නෙ කොහොමද ? රුපියල අවපාත වෙන්නෙ ඇයි ? ඒක නවත්වන්න මොනවාද කරන්න පුළුවන්. වෙනත් රටක ඉන්ටවිව් එකකට ගියොත් උද්ධමනය ගැන වගේ ප්‍රශ්නයක් ඇහුවොත් ඔබ දෙන පිළිතුර මත අනිවාර්යයෙන්ම ඔබට ඒ පාඨමාලාවා හෝ රැකියාව ලැබෙනවා. එහෙම වෙන්නෙ ඔවුන්ට අදහසක් යනවා ඔබ ප්‍රායෝගික මනුස්සයෙක්ය කියලා.

අද මෙතන වාඩිවෙලා ඉන්න පුළුවන් තව අවුරුදු 10කින් රුසියාව විතරක් නෙමෙයි අමෙරිකාව ඇතුළු රටවලින් සම්මාන ලබන ශිෂ්‍යයන්. මහින්ද විද්‍යාලයේ මහාචාර්යවරුන්, ඒ වගේම වෛද්‍යවරුන් ඇතුළු විවිධ වෘත්තිකයන් ඉන්නවා සම්මානයට පාත්‍රවන. ඔවුන්ගෙ එ් ගමනට මේ මහින්ද විද්‍යාලයෙන් අත්තිවාරමක් ලැබුණා. ඒ නිසා මට අද ඔබට දෙන්න තියෙන ලොකුම පණිවුඩය තමයි මේ විද්‍යාලයෙන් එළියට ගියාම සමාජයේ තමන්ට තියෙන තැන මොකද්ද කියලා කල්පනා කරන්න. දැන් ඉඳලම ඒක කරන්න. දහයෙ පන්තියේ ඉඳලාම ඒක කරන්න. අපට විභාගය වැරදුනොත් ඊළඟ පියවර මොකද්ද කියන එක හිතන්න. ගොඩක් දෙනෙක්ට අද ඔවුන්ට හමුවන රැකියාවේ වේතනය අඩුයි. වැඩි වේතන තියෙන රැකියා අද සුලබ නැහැ. නිශ්පාදන ආර්ථිකයක් අපේ රටේ ඇතිවෙනකම් කවදාවත් අපට ලේසියෙන් ගොඩ එන්න ලැබෙන්නෙ නැහැ.

අප නිපදවන කෘෂිකාර්මික දේවල් පවා අදටත් අපි හැම වේලේම පිටරටින් ගේනවා. ඒ රටවල්වලට අපේ විනිමය යනවා. එහෙම වෙනකොට අපට හැමදාම අන්තර්ජාතික බැඳීම්වලින් මිරිකිලා ඉන්න වෙනවා. අපේ රටට සමාජවාදී කියලා දාලා තියෙන නමත් හරි, ලෝකයේ රටවල් කිහිපයක පමණයි තියෙන්නෙ මේ ආහර මුද්දර ඇතුළු නිකං දෙන වැඩපිළිවෙලක්. එහෙම උනාම වැඩකරන අයට වැඩ කරන්න අවශ්‍යතාවත් නැතිවෙලා තියෙනවා. අපේ ක්‍රමේ තියෙන්නෙ ගිය ආණ්ඩුවෙන් දුන්නට වඩා මේ ආණ්ඩුවෙන් දෙනවා. අපි මුදල් ආයෝජනය කරනවා. ඒකෙන් ලැබෙන ලාභය අපි අයි සැරයක් අරගෙන යළි ආයෝජනය කරනවා. එහෙම කරලා කම්කරුවා පීඩනයට පත්කරනවා. මුද්දර ගත්තත් එහෙමයි. කලින් දාහයි නම් මේ අය 1500යි කියනවා. මේ විදියට දෙන්න ගිහිං අති විශාල ආර්ථික පීඩනයක් රටේ තියෙනවා.

ළඟදිත් මම අන්තර්ජාතික සැසියක දැක්කා ලංකාවේ පාසල් ළමුන් කොච්චර ප්‍රමාණයකට විටමින් ඩී ඌණතාවය තියෙනවා ද ? මන්ද පෝෂණය තියෙනවා ද ? වගේ කාරණාවක්. මේ හැමදෙයක්ම කල්පනා කරලා අපේ අනාගතය කොහොම සුරක්ෂිත කරගන්නවාද කියලා අපි කල්පනා කරන්න ඕන. හැබැයි ඒකෙන් අදහස් කරන්නෙ නැහැ මේ රට දාලා යන්න ඕන කියලා. මම ගත්තොත් හොඳම උදාහරණයක්. මට ඔන රටකට ගිහිල්ලා පදිංචි වෙන්න පුළුවන්. මට රුසියාවෙන් කීප වතාවක් පුරවැසිභාවය දෙන්න හැදුවා. අපේ මාධ්‍යවේදී රමේෂ් වරල්ලෙගම මහත්මයත් මගෙන් මේ ගැන අහලා තියෙනවා.

හැබැයි මම හැම අවස්ථාවේම කල්පනා කරන්නෙ මේ අපි ඉපදුණු රට, එකෙම ඉඳලා, ඒකෙම මැරිලා යන්න ඕන. ඒ වගේම මගේ සමාජ සේවා කටයුතු ගත්තම, අනුරාධපුරය ජය ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි සෑය, කැලණිය රජ මහා විහාරස්ථානය විතරක් නෙමෙයි පල්ලි, හින්දු දේවස්ථාන, අති විශාල සංඛ්‍යාවකට උදවු කරලා තියෙනවා.  එහෙම උදවු කරන්න හේතුව. ඒ සිද්ධස්ථානවලින් සිද්ධ වෙන්නෙ හොඳයි. ඒ තැන්වලට මනුස්සයෙක් යන්නෙ තමන්ගෙ දුකක් කියන්න. නැතිනම් තමන්ගෙ ප්‍රශ්නයක් විසඳලා දෙන්න කියලා ඉල්ලන්න. ඒ නිසා මහා සංඝරත්නයට මම විශාල වශයෙන් උදවු කරලා තියෙනවා. මම දර්ශනයක් විදියට කර්මය කියන එක අනිවාර්ය යෙන්ම පිළිගන්නවා. අද අපි සිද්ධ කරන දේ අපේ මරණයට කලින් සියයට පනහක්වත් අනිත් පැත්තට එනවාමයි. ඒ ගැන කිසිම සැකයක් නැහැ.

එදා සාමාන්‍ය ශිෂ්‍යයෙක් විදියට මේ ඉස්කෝලෙට ඇවිල්ලා, ඉගෙන ගෙන කවදාවත් මේ පාසලේ පන්තියක එක දෙක තුන වෙලා නැහැ. මම පහ හය හත වෙලා ඇති. ඒ නිසා වෙනියා ගැන කලබලයක් වෙන්නම දෙයක් නැහැ. ඒකෙන් කිසි දෙයක් වෙන්නෙ නැහැ. දහ වෙනියා දක්වා කිසිම ගැටලුවක් නැහැ. මොකද ඒක සංඛ්‍යාවක් විතරයි. සමාජයට ගියාම කවුරුවත් ඔය ප්‍රගති වාර්තාව පෙන්වන්න කියන්නෙ නැහැ. ඒ වගේම ඔබ පන්තියේ පළවැනියා උනාද කියලා අහන්නෙත් නැහැ. තමන් හොඳ පාසලකින් ඉගෙන ගෙන ආවද කියන එක තමන්ගෙ ක්‍රියාකාරකම්තුළින් පේනවා.

අනිවාර්යයෙන්ම අපි භාෂාවක් ඉගෙන ගන්න ඕන. ඉංග්‍රීසි, ප්‍රංශ, ඇතුළු අතිරේකව වෙනත් භාෂාවක් ඉගෙන ගැනිම ඉතාම වැදගත්. ඒක කවදාහරි තමන්ට අත්වැලක් වෙනවාමයි. මම රුසියාවට යනකොට මට රුසියන් භාෂාවේ එක වචනයක් බැහැ. අන්තිමට අවුරුදු විසි පහක් යන තැන රුසියන් ජනාධිපති ව්ලැදිමිර් පුටින් ඉදිරිපිට රුසියානු භාෂාවෙන් කතා කරන්න මට පුළුවන් උනා. රුසියාවට යනකොට එදා දකුණු පළාතෙන් මම විතරයි ඒ ගුවන් යානයේ හිටියේ. එතකොට භාෂාවත් නොදැන හරියට කියනවා නම් කාන්තාරයකට අතහැරියා වගේ උනා මට ඒ ගමන. හැබැයි මම එක දෙයක් දැනගෙන උන්නා. මේ දේවල්වලින් තමයි අනාගතය හොඳින් හැදෙන්නෙ කියලා. මම එදා එහෙම නොහිතුවා නම් අද මට මේ වගේ කතා කරන්න ලැබෙන්නෙත් නැහැ. මහින්ද විද්‍යාලයෙන් මේ වගේ උත්සව තියලා මට ආරාධනා කරන්නෙත් නැහැ.

ඒ කයි මම දරුවන්ට කියන්නෙ හැම වේලාවේම ලෙගසි එකක් උරුමයක් වෙන්න. එතකොට අත්පුඩි ගහන්නෙ නැති අනිත් අයත් අනිවාර්යයෙන් අත්පුඩි ගහනවා. මොකද ඔක්කොම අත්පුඩිගහන කොට නොගහ ඉන්න කෙනාගෙ දිහා අනෙක් අය බලනවා මොකද්ද මෙයාට තියෙන ප්‍රශ්නය කියලා. එතකොට එයත් අත්පුඩි ගහනවා. කවදාවත් තමන් මානසිකව වැටෙන්න එපා. වැටෙන වැටෙන පාරට ආයිමත් නැගිටින්න.

විශිෂ්ට දෙයක් ඔබට ජිවිතයේ ලැබෙනවා නම් ඔබව වැටෙනවා මයි. එක වතාවක් නෙමෙයි කිහිප වතාවක් වැටෙන්න පුළුවන්.ඒක හොඳට මතක තබා ගන්න. හැබැයි මහින්දෙ වගේම දකුණෙ තියෙන්නෙ අපි නැගිටිනවා. මේ මහින්දෙ ගේට්ටුවෙන් එළියට ගිහිල්ලා සමාජයේ විශිෂ්ට පුරවැසියෙක් විධියට තමන්ගෙ ජීවිතය සකස් කරගන්න. මම විශ්වාස කරනවා මහින්දයෙන් තව තවත් විශිෂ්ටයො බිහි වෙනවා. ඒ වගේම විශිෂ්ටයන් බිහිවේවා! කියලා මම ප්‍රාර්ථනා කරනවා යැයි වෛද්‍ය සමන් වීරසිංහ මහතා පැවැසීය.

විදුහල්පති ජනක පේදුරුහේවා මහතා

කීර්තිමත් ආදි සිසුවෙක් ලෙස වෛද්‍ය සමන් වීරසිංහ මැතිතුමා විද්‍යාලයේ උන්නතිය වෙනුවෙන් නිරන්තරයෙන් කැප වෙනවා. රාජතාන්ත්‍රිකයන් කොතෙකුත් සිටියත් මේ වගේ විශිෂ්ටයන් අද සමාජයේ දුලබයි. දරුවන්ට මෙවැනි චරිත ආදර්ශයට ගන්න යැයි නොබියව ප්‍රකාශ කරන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ පළමුවැන්නා ලෙසත්, පසුගිය වසරේ ආසියාවෙන්ම එකම පුද්ගලයා ලෙසත් වෛද්‍ය සමන් වීරසිංහ මහතා ජනපති ව්ලැදිමිර් පුටින් මහතා අතින් මිත්‍රත්වය සඳහා වූ රාජ්‍ය සම්මානය දිනා ගැනීම මහින්ද විද්‍යාලයට ආඩම්බරයක්.

ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් සම්පත් රත්නායක මහතා

මහින්ද විද්‍යාලයටත් කීර්තියක් ගෙන දෙමින් සම්මානයට පාත්‍ර වූ වෛද්‍ය සමන් වීරසිංහ වැනි විශිෂ්ටයෙකුට උපහාර පිදීමට ලැබීම භාග්‍යයක්. නිරන්තරයෙන් විද්‍යාලය සමඟ සහ සම්බන්ධවී කටයුතු කරන වීරසිංහ මැතිතුමා, දරුවන් සිය ගණනකට ශිෂ්‍යත්ව ලබා දෙමින් උතුම් සත් කාර්යයක නිරත වෙන බවත් සිහිපත් කරන්න ඕන.

පාසල් සංවර්ධන සමිතියේ ලේකම් නලීන් පරණගම මහතා

විශිෂ්ටයන් අද සමාජයේ කොතෙකුත් සොයාගන්න පුළුවන්. හැබැයි වෛද්‍ය සමන් වීරසිංහ කියන්නෙ විශිෂ්ටයන් අතර සුවිශිෂ්ටයෙක්. ඔහු තමන්ගෙ රටට ණය නැති රාජතාන්ත්‍රිකයෙක් කියලා නොපැකිළිව හඳුන්වන්න පුළුවන්.

ආදි ශිෂ්‍ය නායක සංගමයේ ලේකම් රමේෂ් වරල්ලෙගම මහතා

ලෝකයේ පළමු අභ්‍යාවකාශගාමිනී වැලැන්ටිනා තෙරෙස්කෝවා, විශ්ව කීර්තිධර ලේඛක චිංගිස් ආයිත්මාතොව්, ලෝක චෙස් ශූර විශ්වනාත් ආනන්ද්, කියුබානු ජනාධිපති රාවුල් ක්‍රස්තෝ,ඉන්දයීය අගමැති ඉන්ද්‍රකුමාර් ගුජ්රාල්, සිංගප්පූරුවේ පළමු අගමැති ලී ක්වාන් යූ, දකුණු අප්‍රිකානු නිදහස් සටනේ පුරෝගාමී දකුණු අප්‍රිකානු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා, මැලේසියාවේ අගමැති මහතීර් මොහොමඩ්, අමෙරිකානු සිනමා අධ්‍යක්ෂ ස්ටීවන් සීගල් නැමති නම් අතර අලුතින් එකතු වු නම වෛද්‍ය සමන් රංජිත් වීරසිංහ නැමති අපේ කීර්තිමත් ආදි ශිෂ්‍යා බව මම ඔබට ඉතා අභිමානයෙන් යුතුව සිහිපත් කරනවා.

නියෝජ්‍ය විදුහල්පති එල්.පී වීරමන් මහතා

වෛද්‍ය සමන් වීරසිංහ මහතාගෙන් දරුවන්ගේ ජීවිතයට ගත හැකි බොහෝ ආදර්ශ තියෙනවා. ඇතමුන්ට ඉහළට යනවිට පාසල අමතකයි. ඒත් මම මහින්ද විද්‍යාලයට ඇවිත් අවුරුදු පහට වෛද්‍ය සමන් වීරසිංහ මැතිතුමා මේ පාසලට තුන් වතාවක් පැමිණ තිබෙනවා. ඔහු රාජතාන්ත්‍රිකයෙක්, ව්‍යාපාරිකයෙක් විතරක් නෙමෙයි අද රටේ ඉන්න විශිෂ්ට ගණයේ සමාජ සේවකයෙක් ද වෙනවා.