ප්‍රදීප් නිලංග දෑල දියවඩන නිලමේවරයා වශයෙන් නැවත තේරී පත්වෙයි .

ශ්‍රී දළදා වහන්සේගේ ගිහි භාරකාරවරයා වන දියවඩන නිලමේවරයා පත්කර ගැනීම සඳහා වන නිලවරණය බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම් ගාමිණි සෙනෙවිරත්නගේ ප්‍රධානත්වයෙන් මහනුවර සෙංකඩගල බෞද්ධ මන්දිරයේදී අද (07) පස්වරුවේ පවත්වන ලදි . එම නිලවරණයේදී වැඩබලන දියවඩන නිලමේ ලෙස කටයුතු කළ ප්‍රදීප් නිලංග දෑල නවතත් එම තනතුරට තේරී පත්විය.

මෙවර දියවඩන නිලමේ ධුරය සඳහා ප්‍රදීප් නිලංග දෑල, දමින්ද උඩුරාවණ, ඒ.ඩබ්ලිව්.එස් බණ්ඩාරනායක, මහචාර්ය තිලක් සුබසිංහ,ගාමිණි කළුහෙන්දිවෙල,රොෂාන් ප්‍රියදර්ශන හා නන්ද මඩුගල්ලේ ඉදිරිපත් වන බව කල්වේලා ඇතිව ප්‍රසිද්ධ කර තිබිණි.

එසේ වුවත් මහචාර්ය තිලක් සුබසිංහ,ගාමිණි කළුහෙන්දිවෙල,රොෂාන් ප්‍රියදර්ශන හා නන්ද මඩුගල්ලේ යන අයගේ නම් යෝජනා කිරීමට ඡන්ද දායකයින් කිසිවෙකු හෝ ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔවුන්ට රැස්වීම් ශාලාවේ රැඳී සිටීමට අවසර නොලැබිණි.

මෙහි දී සමස්ත 267 ක් වූ ඡන්ද සංඛ්‍යාවෙන් ප්‍රදීප් නිලංග දෑල ඡන්ද 195 ක් ද දමින්ද උඩුරාවණ ඡන්ද 50 ක්ද ඒ.ඩබ්ලිව්.එස් බණ්ඩාරනායක ඡන්ද 13 ක්ද ද ලබාගන්නා ලදි .
මේ අනුව හිටපු දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල 2035 දක්වා තවත් වසර 10 ක කාලයක් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරය හෙබවීමේ අවස්ථාව හිමිවෙයි.

තෙවන වරටත් දියවඩන නිලමේ ධුරයට පත්වීමත් සමඟ වැඩිම කලක් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරය දැරෑ පුද්ගලයා ලෙස ඔහුගේ නම ඉතිහාසයට එක්වෙයි.

දියවඩන නිලමේ ධූරයට නැවත පත්වූ ප්‍රදීප් නිලංග දෑල සිය පවුලේ සාමාජිකයන් සමග