වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කිරීමට වෛද්‍යවරු තීරණය කරති .

මේ වන විට තම සංගමය විසින් ඉදිරිපත්කර ඇති ඉල්ලීම් සඳහා සාධනීය විසඳුමක් ලබා නොදෙන්නේ නම් දැනට ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය තීව්‍ර කිරීමට සිදුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කරනුයේ පසුගිය සඳුදා (17) දිනයේදී ජනාධිපතිවරයා සමග සාකච්ඡාවේදී සිය සංගමයේ යෝජනා සමග ජනාධිපතිවරයා එකඟ වූ බවය . ඒ අනුව එම යෝජනා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නිශ්චිත කාල රාමුවක් සහිත වැඩපිළිවෙළක් ප්‍රකාශයට පත් කරනා ලෙස සිය සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවත් වෛද්‍යවරු පවසති .

මේ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යවරයා සමගද සාකච්ඡාවක් පැවැත්වූ නමුත් මේ වන තෙක් මෙරට වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය සේවාව සුරක්ෂිත කිරීම වෙනුවෙන් විශ්වාස කළ හැකි විසඳුම් මාලාවක් හෝ වැඩසටහනක් ප්‍රකාශයට පත් වී නොමැති බවත් රජයේ වෛද්‍ය නිලදාරීන්ගේ සංගමය පවසයි .

ඒ අනුව හෙට දිනයේදී අයවැය තුන්වෙනි වර කියවීමේ සෞඛ්‍ය අමාත්‍යාංශ කාරක සභා විවාදය පැවැත්වෙන බැවින් මෙම ගැටලු විසඳීම සම්බන්ධයෙන් පැහැදිලි විසඳුම් මාලාවක් කාල රාමුවක්ද සහිතව සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත් කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද එම සංගමය පවසයි .