“වීදුරු වැල් පාලමේ යකඩ සපත්තු දමා ආ අසීරු ගමන වෙන අයට භාරදීලා ‘පාලම කඩාවැටෙන්න, මිනිස්සු අමාරුවේ වැටෙන්න’ ඉඩ දෙන්නේ නෑ” – අමාත්‍ය මනූෂ නානායක්කාර

වීදුරු වැල් පාලමේ යකඩ සපත්තු දමාගෙන ආ දුෂ්කර ගමන අවසන් භාගයද නොනැවතී යන අතර එම පාලම කඩා වට්ටන්නට ඉඩ නොදෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අද (31) බදුල්ලේ ආරම්භ වූ ‘ජයගමු ශ්‍රී ලංකා’ ජංගම වැඩසටහනට සහභාගි වෙමින් අවධාරණය කළා.

අද සහ හෙට (01) දෙදින පැවැත්වීමට කටයුතු යොදා ඇති ‘ජයගමු ශ්‍රී ලංකා’ වැඩසටහනේදී අමාත්‍යවරයා විශේෂයෙන් සඳහන් කළේ උද්ඝෝෂණය පමණක් පුහුණු වූ මිනිසුන් ඊශ්‍රායලයට ගොස් කරන උද්ඝෝෂණ හේතුවෙන් එරටට ශ්‍රමිකයින් යැවීමේ ප්‍රමාදයක් සිදුව ඇති බවයි.

එසේ වුවත් එරට රජය සමග පෙර පරිදි කටයුතු පවත්වාගෙන යාමට සියලු පියවර ගන්නා බවත් අමාත්‍යවරයා එහිදී පැවසුවා.

“ජනාධිපතිතුමා කිව්වා වගේ අපි යකඩ සපත්තු දාගෙන වීදුරු වැල් පාලමක අමාරු ගමනක් ආවේ. ඒ අමාරු ගමනට ඔය යකඩ සපත්තු කොච්චර අමාරු වුණාද? අපිට සීරුවෙන් එන්න වුණා. ඉතුරු ටිකත් විශාල සපත්තු දාගෙන අන්තිම ටිකත් ඉස්සරහට අරගෙන යනවා. ඒ ටික වෙන අයට බාර දීලා වැල් පාලම කඩා වට්ටන්න, රටේ මිනිස්සු දුක් විඳවන්න අපි සූදානම් නෑ.
රටම දියුණු වෙන වැඩපිළිවෙළ මේ යන්නේ. ඒකත් කඩාකප්පල් කරන්න දියව් දියව් කියන උද්ඝෝෂකයෙක් යැව්වද කියලා සැකයක් තියෙනවා. අපි ඒකට මුහුණ දෙනවා. අපි ඊශ්‍රායලයත් එක්ක කටයුතු සාර්ථක කරලා රට දිනවන වැඩපිළිවෙළ නැවත ගෙනියනවා. ඒ අභියෝගයත් අපි ජයග්‍රහණය කරනවා.” යැයි එහිදී කී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද සඳහන් කළා.

“බදුල්ල කියන්නේ ඌව පළාතේ අග නගරය. ඉතිහාසයේ තිබුණට වඩා අද දැවැන්ත සංවර්ධනයක් අත් කරගෙන තියෙනවා. බදුල්ල තවත් ඉස්සරහට යන්න පුළුවන් විශාල වපසරියක් තියෙන දිස්ත්‍රික්කයක්. ඇල්ල සංචාරක කර්මාන්තය වගේ තැන් සියල්ල ගත්තම ලංකාවට සංචාරකයින් වැඩියෙන් ගෙනල්ලා ලොකු සංවර්ධනයක් කරන්න පුළුවන් දිස්ත්‍රික්කයක් බදුල්ල කියන්නේ. ඒ සඳහා මූලික කටයුතු සම්පාදනය වෙමින් පවතිනවා. ලංකාවේ ආර්ථිකයට දැවැන්ත සහායක් ලබා දෙන්නේ වතු වගාව. ඒ වතු වගාව එක විදිහට තියාගෙන, ආණ්ඩුවේ වතු ටික, අපේ කම්කරුවන් ටික පාවිච්චි කරගෙන, තියෙන පරණ තේ ගස් ටිකම තියාගෙන ඒකේ දලු කඩාගෙන හම්බ කරලා කම්කරුවට රුපියල් 1000ක් දීලා හාම්පුත්තු පොහොසත් වෙන ක්‍රමය වෙනස් කරනවා. හොඳ, අලුත්, වැඩි ඵලදාව ලැබෙන වගාවක් හදලා, නවීන තාක්ෂණය,

වගාව කර්මාන්තය දියුණු කරලා අපි නියෝග කරපු වතු සේවකයගෙ වැටුප රුපියල් 1700ම ගෙවන වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කරනවා. ජනාධිපතිතුමා මැදිහත් වෙලා වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි වීම ගැන තීරණය ගත්තා. අපේ සෙන්දිල් තොණ්ඩමන්, ජීවන් තොණ්ඩමන්, වඩිවේල් සුරේශ් මැතිතුමන්ලා මැදිහත් වෙලා විශාල අරගලයක් කරලා තමයි 1700 කියන වැටුපට ගෙනාවේ. දැන් කියනවා උසාවි යනවා කියලා. මාත් බලාගෙන ඉන්නවා උසාවියේ නියෝගය මොකක්ද වෙන්නේ කියලා. ජනාධිපතිතුමා කිව්වා එයාලා උසාවි යනවා නම් අපිත් අල්ලන්න තියෙන හොඳම ලෝයර් අල්ලමු කියා. කම්කරු ජනතාවට රුපියල් 1000කින් ජීවත් වෙන්න පුළුවන් කියනවා නම් ඔවුන්ට වැරදිලා. ජීවන වියදම වැඩි වෙලා. ආර්ථික තත්ත්වය කඩාගෙන වැටිලා, දුප්පත්කම සියයට 26කින් වැඩි වෙලා, වතු ක්ෂේත්‍රයේ තමයි වැඩිම දරිද්‍රතාවය තියෙන්නේ. ඒ වෙනුවෙන් සියලු බලය පාවිච්චි කරලා නීති යොදවලා, අධිකරණයට ගිහින් කරුණු දක්වන්න ජනාධිපතිතුමා මට උපදෙස් දුන්නා. එහෙම පඩි දෙන්නේ නැතුව සෙල්ලං දානවා නම් අපි සූදානම් මේ වතු ටික, කරන්න බැරි, කරන්නේ නැති, කාර්යක්ෂමතාවක් නැති හැමදාම වත්තේ දලු ටික විකුණන් කාලා ජීවත් වෙන කොම්පැණි වෙනුවට වතු දියුණු කරන්න.

මේ වතුවල අයිතිය තියෙන්නේ ආණ්ඩුවට. ඒගොල්ලෝ කුළියට ඉන්න අය. වතු සඳහා ආයෝජනය කරන්න. ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කරන්න අපි නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමාලත් සමග එකතු වෙලා තීන්දුවක් ගත්තා වතු හාම්පුතුන්ට කරන්න බැරි නම් අපි ආපහු අරගෙන කරන්න පුළුවන් මිනිසුන්ට දෙනවා වතු කම්කරු ජනතාව ආරක්ෂා කිරීම වෙනුවෙන්.
ඒ විතරක් නෙවෙයි වතු ජනතාවට ඉඩම් අයිතිය ලබා දෙන්න ඔවුන්ට වත්තේ ගේ හදාගන්න ගම්මානයක් වෙන් කරලා ගෙවල් හදාගන්න, සින්නක්කර අයිතියට ඉඩම් කෑල්ලක් දෙන්න, වත්තේ අයිතිකාරයෙක් වෙලා වගා කරන්නත් අපි කටයුතු කරනවා. ඒ සඳහා නීති රීති ටිකත් දැන් ජනාධිපතිතුමා අගමැතිතුමා එක්ක එකතු වෙලා විශේෂ කමිටුවකින් සකස් කරනවා කියන එක බදුල්ලට ආව වෙලාවේ මතක් කරන්න ඕන.


අපි දැන් පඩි වැඩි කරන්න කියලා උසාවි යනවා, රණ්ඩු වෙනවා. හැබැයි රට හදන්න ඕන කියන අය කතාවක්වත් නෑ. මම බැලුවේ කෝ කයියනායකලා, කෝ පුතාණෝලා? ඒ අය ඒ ගැන වචනයක් කියන් නෑ. ඒ කියන්නේ කම්කරු ජනතාව දුකින් හිටියට ඒ අයට කමක් නෑ.
ඒ අය මහ ලොකුවට කියන්නේ ජනතාවත් එක්ක මැරෙන්න සූදානම් කියලා. ඒ වුණාට මේ කම්කරු ජනතාවගේ වැටුප වෙනුවෙන් වචනයක් කතා කළාද? 1700ක් දෙන්න කිව්වද, අපිට සහාය වෙන පාර්ශ්වයක් හැටියට උසාවියට ආවද?වඩිවේල් සුරේශ්, තොණ්ඩමන්ලා විතරයි අපිත් එක්ක, ජනාධිපතිතුමත් එක්ක වතු කම්කරු ජනතාව වෙනුවෙන් හිටගත්තේ. මුලින් කිවූ අය කොම්පැනිවලට බයේ දැන් ඇස් වහන් ඉන්නවා.

මොකද කොම්පනිවලින් සල්ලි අරගෙනනේ අරවා මේවා බෙදන්නේ. කොම්පැණිවලින් බලපෑම් කරලා සල්ලි අරගෙනනේ රැස්වීම් තියන්නේ. ඔය ලොකු කොම්පැණිකාරයෝ තමයි රට වටේ එක මිටට යන්න සල්ලි දෙන්නේ. ඒ නිසා කොම්පැණිකාරයන්ට විරුද්ධව කට අරින්නේ නෑ. අපි කියනවා රතු සහෝදරවරුන්ටත් මේ වතු කොම්පැණිවලට විරුද්ධව කට අරින්න කියලා. කට අරින්න බෑ. ඒ සල්ලි තමයි අරගෙන තියෙන්නේ.


අපි අලුත් වැඩසටහනක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා ලබන මාසේ ඉඳලා ‘අහුවෙන්න එපා’ නමින් පටන් ගන්නවා වත්තෙන් වත්තට ගිහිල්ලා. ශ්‍රමිකයන්, විදේශගත වතු කම්කරු ජනතාව නිවැරදි විදිහට දැනුවත් කරලා, ඒවයේ ප්‍රතිලාභ ඔවුන්ට ලබා දෙන විශේෂ වැඩසටහනක් බදුල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරනවා.


අපේ රාජ්‍ය ඇමතිතුමා කිව්ව ගමට අධිකරණය ගේනවා කියලා. අපිට මතකයි 71 කැරැල්ලෙන් පස්සේ 88 – 89 භීෂණ කාලේ එහෙම ගමේ නඩු ඇහුවා. ලයිට් දාන්න එපා කිව්වා. පාරේ යන්න එපා කිව්වා. එහෙම ඇහුවේ නැත්නම් බෙල්ල කපලා ගැහුවා වැටේ. මගේ තාත්තටත් ලයිට් දාන්න එපා කිව්වා. තාත්තා කිව්වා උන්ට ඕන විදිහට මම ලයිට් නොදා ඉන්නවද කියලා. මට වයස අවුරුදු එකොළහේදී මගේ තාත්තවත් මරලා දැම්මා. ලයිට් දාපු එකේ වැරැද්ද. ගමේ සාමාන්‍ය දේශපාලනයක් කළ මනුස්සයෙක් ඔහු.


රට ළුෑණුවලට රට ළුෑණු කියන්නේ ඇයි? රටින් ගේන නිසා. ඉස්සර අපි ඒකට කිව්වේ බොම්බයි ළුඈණු කියලා. රතු පරිප්පුවලට ඉස්සර කිව්වේ මයිසූර් පරිප්පු කියලා. 88 – 89 කිව්වා ඉන්දියාවට විරුද්ධයි, ඉන්දියාවේ දේවල් බෑ කිව්වා. ඒ නිසා අපි මයිසූර් පරිප්පු වෙනුවට රතු පරිප්පු, ලොකු ළුණු කිව්වා. ලංකාවේ ළුඈණුවලට ලංකා ළුඈණු කිව්වා. ඉන්දියානු විරෝධය කියලා පන්ති තියලා, 60,000ක් මරලා, සද්ද නැතිව ඉන්දියාවට ගිහින් ඇවිල්ලා ඉන්දියාවට එරෙහි කුමන්ත්‍රණයේ ‘කු’යන්න හලලා මන්ත්‍රණය කරලා ලංකාවට ඇවිල්ලා දැන් ‘සොරි’ කියනවා.

අපිට මේ විශ්වාස සියල්ල හදලා අපේ රටේ සංවර්ධනයටයි දශක ගණනාවක් බාධා කළේ. ඉන්දියාවත් එක්ක එකතු වෙලා අපිට ගොඩනැගෙන්න තිබ්බ ගමනයි ඒ නතර කළේ. අපි අද ‘ජයගමු ශ්‍රී ලංකා’ කියලා ඇවිත් තියෙන්නේ ජයග්‍රහණය කරා යන්න. අපි පටන්ගමු වෙනස් වෙන්න. දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන් සියලු දෙනා පාට, පක්ෂ ජාති කුල, මල ආගම් සියල්ල පැත්තකට දාලා රටේ ජයග්‍රහණය වෙනුවෙන් පෙළ ගැහෙන්න. එතෙන්ටයි අපි වැඩ කරන්න ඕන.
බදුල්ල ප්‍රසිද්ධ වෙන්න හේතුව අපි අටමස්ථාන වඳින්න ගාථාව පටන් ගන්නේ මහියංගණෙන්. දැන් අපේ ජාජබ (ජාතික ජන බලවේගය)නිකායේ හාමුදුරු කෙනෙක් කියනවා ලංකාවට බුදුන් වැඩියේ නෑ කියලා.

මේ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ. මේ බදුල්ලේ බෞද්ධයින්ගේ විශ්වාසයට මේ ගහන්නේ. මෙහෙම මිනිසුන්ගේ විශ්වාසය කඩලා අවසානයේ ‘සොරි’ කියලා වැඩක් නෑ. අපි ඒ තැන්වලට නොයා රට ගොඩගන්නයි ඕනේ. අපි ඇල්ල වැල්ලවාය පාර හදනකොට ඇමරිකාවේ ප්ලේන් බාන්න තමයි එය හදන්නේ කියා එදා විජේවීර සහෝදරයා කිව්වා. එදා ඒ පාර හැදුවා නම් ඉතා ඉක්මනින් අධිවේගයෙන් කොළඹට එන්න පුළුවන්. හයිවේ එක හැදුවේ මහින්ද රාජපක්ෂ මහත්තයට මාළු ඇඹුල් තියලුයි, කිරි හට්ටි ගේන්නයි කිව්වා.

එහා පැත්තේ පූසට මෙහා පැත්තට යන්න බෑ කිව්ව. හැබැයි අද අධිවේගී මාර්ගය නිසා ඔබ කොළඹට කිට්ටු කරලා තියෙනවා. අපි රට දිනන්න නම් මේ වැරදි මතවලට අහු වෙලා රට ඉස්සරහට යන ගමන නතර කරන්න නරකයි. එය මොන දේශපාලන පක්ෂේ කළත් රට ඉස්සරහට යන මතවාද නතර කරනවා නම් විරුද්ධ වෙන්න ඕනේ. උමා ඔයට විරුද්ධ වුණා. අවුරුදු 08ක් එය ප්‍රමාද කළා. මෙගා වොට් 120 ජාතික පද්ධතියට එකතු කරන්න තිබුණා නම් ලයිට් නොකපා ඉන්න තිබුණා. එදා එහෙම කළේ සමන්ත විද්‍යාරත්නලා. උමා ඔය හින්දා. අද හිල නැත. බණ්ඩාරවෙල නෑ කිව්වට වතුර තියෙනවා. අවසානයේදී ඉරාන රාජ්‍ය නායකයා ඔවුන්ගේ පරිත්‍යාගයක් හටියට විවෘත මෙය කරලා ගියා. බදුල්ල සංස්කෘතික උරුමයන් කොයි තරම් තියෙනවද? අද කොළඹ ඉඳන් බදුල්ලට එන කෝච්චි පාලම ලෝකයේ ජනප්‍රියම දුම්රිය ගමන ඔඩිසි වෙලා තියෙනවා. නයින් ආර්ච් පාලම සියල්ල තියෙනවා. සඳට ළඟ දුම්රිය ගමන බදුල්ලේ තියෙන්නේ. අද රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ සංචාරක හයිය දැනුම සියලු දැනුම, බලය නිලධාරීන්ට ලබා දීලා තියෙනවා.


අද මේ ඇවිල්ල තියෙන්නේ රට වැටුණු වෙලාවේ ඩොලර් බිලියන 11.5ක් ලංකාවට එව්ව විදේශගත ශ්‍රමිකයින්ගේ දරුවෝ. ඒ දරුවන්ට තමයි අද මේ හරසර දෙන්නේ. මේ රට තෙල්, ගෑස්, බෙහෙත් නැතුව තාත්තලා නැතුව මැරෙද්දි බෙහෙත් ගෙනත් දුන්නේ මේ දරුවන්ගේ අම්මලා තාත්තලා. ඒ අයට උපහාර දක්වන එක වැරදි නෑ. ඒකටත් මේවා කරන්න ඕන නැති වැඩ කියලා වැරදි කියනවා. දුප්පත්කම සියයට 26 දක්වා වැඩි වෙච්ච වෙලාවේ එය සියයට 10 දක්වා අඩු කරන්න මේ අය වැඩ කළා. අස්වැසුම, ඉඩම් අයිති, හාල් ලබා දීම මිනිසුන්ට දෙන එක වැරදිද? මේක නරකද? මේ ජාතික වැඩ. දුප්පත්කම නැති කිරීමේ ආණ්ඩුවේ සැලැස්ම. ණය ගෙවන්නේ පස්සේ. රටේ මිනිස්සු ඉස්සරම ශක්තිමත් කිරීම අපි කරන්නේ. ඒකයි අපි ජයගමු ශ්‍රී ලංකා කියලා මිනිස්සු, දැනුවත් කරගෙන ඒකට බලමුළු සංවිධානය කරන්නේ.

ඒකට ගැලපෙන මිනිස්සු හදන්නේ, ශ්‍රමිකයෝ හදන්නේ. ඒ නිසයි කියන්නේ මේ අමාරුකම් මැද අපි ඇවිල්ලා තවත් අවුරුදු දෙකක් යද්දි මේ රට ගොඩනගනවා කියලා. අපි මේ රටේ මිනිස්සුන්ට ශක්තිය ලබා දෙනවා. ඊශ්‍රායෙල් යාමට අදත් ලියාපදිංචි කරනවා. හැබැයි ඊශ්‍රායෙල් රාජ්‍යයට යන එකේ ප්‍රමාදෙකුත් ඇති වෙලා තියෙනවා. මොකද මෙහේ පුරුද්දටම ‘දියව් දියව්’ කියලා ඊශ්‍රායෙලයටත් ගිහින් ‘දියව් දියව්’ කියලා. එහෙ මිනිස්සු බලනවා මේ වගේ මිනිස්සු ටිකක් ගෙනාවොත් ලංකාව වගේම ඊශ්‍රායලයත් දියුණු වෙන එක නතර වෙයි, මේ වගේ අය එවන්න එපා කියලා. දැන් නැවත පොඩ්ඩක් අපිට සාකච්ඡා කරන්න වෙලා තියෙනවා. මෙහේ ලේ දැකලා පුරුද්දට එහෙත් වැඩ පටන් අරගෙන. රටම දියුණු වැඩපිළිවෙළ මේ යන්නේ. ඒකත් කඩාකප්පල් කරන්න දියව් දියව් කියන උද්ඝෝෂකයෙක් යැව්වද කියලා සැකයක් තියෙනවා. අපි ඒකට මුහුණ දෙනවා. අපි ඊශ්‍රායලයත් එක්ක සාර්ථක කරලා රට දිනවන වැඩපිළිවෙළ නැවත ගෙනියනවා. ඒ අභියෝගයත් අපි ජයග්‍රහණය කරනවා.

වැල් පාලමේ බාගයක් ගියාට පස්සේ කියනවා ඉතුරු ටික අපිට ගෙනියන්න පුළුවන් කියලා. ජනාධිපතිතුමා කිව්වා වගේ යකඩ සපත්තු දාගෙන වීදුරු වැල් පාලමක යන අමාරු ගමනක් ආවේ. ඒ අමාරු ගමනට ඔය යකඩ සපත්තු කොච්චර අමාරු වුණාද? අපිට සීරුවෙන් එන්න වුණා. ඉතුරු ටිකත් අපි විශාල සපත්තු දාගෙන අන්තිම ටිකත් ඉස්සරහට අරගෙන යනවා. ඒ ටික වෙන අයට බාර දීලා වැල් පාලම කඩා වට්ටන්න, රටේ මිනිස්සු දුක් විවිඳවන්න අපි සූදානම් නෑ. ජයගමු ශ්‍රී ලංකා – ශ්‍රී ලංකාව ජයග්‍රහණයකින්ම කෙළවර කරන්නයි අපි අපෙන් පටන්ගෙන අපේ රට ඉස්සරහට අරගෙන යන්න අපේ ශ්‍රමකයෝ වැඩ්ඩෝ කරලා ජයගමු ශ්‍රී ලංකා කියන එකට සියලු දෙනා එකතු කරගෙන අත්වැල් බැඳගෙන අපි දිස්ත්‍රික්කය පාසා ගිහින් බලමුළු සංවිධානය කරන්නේ පාට පක්ෂ ජාති කුල මල ආගම් භේද නැතුව.

එදා 2015 ආණ්ඩුව වෙලාවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගත්ත එක තීන්දුවක් දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගයන්න. ඒ එකමුතුකම් එක්කයි අපි රටක් විදිහට ඉස්සරහට යන්නේ.” යැයිද අමාත්‍යවරයා පැවසුවා.

වරාය හා නාවික ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර, නාගරික හා නිවාස රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, වඩිවේල් සුරේශ් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් ආනන්ද විමලවීර සහ බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මුදිතා පද්මජායි, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති හිල්මි අසීස්, මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ.ජී.එච්.එන්.ආර්. කිරිඇල්ල, ජාතික ශ්‍රම අධ්‍යක්ෂ ජනරාල් සුරංග වර්ෂකෝන්, ජ්‍යෙෂ්ඨ පොලිස්පති (බදුල්ල දිස්ත්‍රික්කය) වසන්ත කන්දෙවත්ත, ශ්‍රී ලංකා මහබැංකුවේ අර්ථසාධක අරමුදල් අංශයේ නියෝජ්‍ය අධිකාරී ඩබ්ලිව්.එච්.එම්. කුමාර, සහකාර කළමනාකරු ලංකා බැංකුව (ඌව පළාත) අයි.කේ. නවරත්න යනාදීන්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඇතුළුව අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනවල නිලධාරීන්, දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්, පොලිස් නිලධාරීන්, රජයේ සේවකයන් සහ විගමනික ශ්‍රමික පිරිස් පවුල්වල සාමාජිකයන් මෙම අවස්ථාවට සහභාගි වුණා.