වැඩ වර්ජණ කරනා සෞඛ්‍ය සේවකයන් පිටුපස ජනාධිපති කාර්යාලයේ පිරිසක් ඉන්නවා

වෛද්‍යවරුන්, හෙදියන් වැනි වෛද්‍ය වෘත්තිකයන්ට අමතරව රෝහල් පද්ධතිය බිඳ දැමීමට වෙනත් කිසිවකුට හැකියාවක් නැතිබව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ (GMOF) සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පැවසීය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මෙම වෘත්තීය සමිති නායකයින් ජනාධිපති කාර්යාලයේ වෘත්තීය සමිති අංශයට අනුයුක්ත ඉහළ නිලධාරීන් සමග සම්බන්ධ වී සිටින බවයි.

“සෞඛ්‍ය සේවකයින්ගේ සේවය තවදුරටත් රෝහල්වලට අවශ්‍ය නොවන බව අපි පුන පුනා කියා සිටිමු. තවත් අසාර්ථක වැඩ වර්ජනයක් අවසන් කර ඇත. රෝහල්වලට අවශ්‍ය වන්නේ වෛද්‍යවරුන්, හෙදියන්, පරිපාලන කාර්ය මණ්ඩලය ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිතිවල වෘත්තිකයන්ගේ විශේෂඥතාව පමණි. මෙම අකාර්යක්ෂම වෘත්තීය සමිති ආණ්ඩුව පෙරළන්න බැහැ, ”ඔහු ප්‍රකාශ කළේය.

මෙම විරෝධයට සෞඛ්‍ය සේවකයින් 100,000 ක් සහභාගී වූ බව විරෝධතාකරුවන් ප්‍රකාශ කරනා බවත්, ඒ අනුව එම ලක්ෂයට වර්ජනය කරනා ලද දින ගණනට හිමි දීමනා අහිමිවන බවත් පැවසූ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන එමගින් රජයට රුපියල් මිලියන 700 කට අධික මුදලක් ඉතිරි කරගත හැකිව ඇති බව පැවසීය .

“ඉදිරියේදී තවත් උද්ඝෝෂණ දෙක තුනකට සහභාගි වුණොත් රජයට තවත් මුදල් ඉතිරි කර ගන්න පුළුවන් කියලා මම හිතනවා.” ඔහු පැවසීය.

කෙසේ වෙතත්, රජයෙන් අනුමත දීමනා කිහිපයක් හෙද නිලධාරීන්ට ලබාදිය යුතු බව පැවසූ වෛද්‍ය බෙල්ලන, එ සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!