වැටුප් වැඩි නොකළොත් අපි ස්ට්‍රයික්

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් ඉහළ දැමීමට අදාළ කටයුතු දිගින් දිගටම ප්‍රමාද වීම නිසා ඔවුන්ට දැඩි අසාධාරණයක් සිදුවෙමින් තිබෙන බව සමස්ත ලංකා වතු කම්කරු සංගමය සඳහන් කරනවා.

සාධාරණ වැටුපක් දිනා ගැනීමට නොහැකිව වතුකම්කරුවන් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් පීඩාවට පත්ව සිටින බවයි එම සංගමය පෙන්වාදෙන්නේ.

මැයි 01 වන දිනට පෙර වතුකම්කරුවන්ට සාධාරණ වැටුපක් ප්‍රකාශයට පත් කිරීමට බලධාරීන්ට නොහැකි වුවහොත් එදින සිට වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරන බවද එම සංගමයේ ලේකම් ජේ. ඒ. ප්‍රේමරත්න මහතා සඳහන් කළා.

වතුකම්කරුවන්ගේ දෛනික වැටුප ඉහළ දැමීම සඳහා පසුගිය මස 21 වන දින සිට මේ දක්වා කාලය තුළ අවස්ථා තුනකදී පඬිපාලක සභාව රැස් වී තිබුණත් වැටුප සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නොහැකි වී තිබෙන බවත් හෙතෙම පැවසුවා.

2021 වසරේ මාර්තු මාසයේදී අවසන් වරට වතුකම්කරුවන්ගේ වැටුප් ඉහළ දමා තිබෙනවා. එහිදී වතුකම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000ක් බවට පත් කිරීමට තීරණය කරනු ලැබුවා. නමුත් රුපියල් 1000ක දෛනික වැටුප ලබා දීම සඳහා ද ඇතැම් වතු සමාගම්, කම්කරුවන්ට දෛනික වැඩ ඉලක්ක ලබා දෙන බවත් ඒ මහතා පවසා සිටියා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!