වසර 10කට පසුව යල කන්නයේ කුඹුරු හෙක්ටයාර් 512,000 ක් වගා කළා. කෘෂිකර්ම ඇමති කියයි

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ නව පොහොර ප්‍රතිපත්තිය හේතුවෙන් වසර 10 කට පසු යල කන්නයේ කුඹුරු හෙක්ටයාර් පන්ලක්ෂ දොළොස් දහසක් වගා කිරීමට හැකි වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කරයි.

එම වැඩපිළිවෙළ යටතේ 2025 වන විට මෙරට පරිභෝජනයෙන් 80%ක කෘෂි නිෂ්පාදන ඵලදාවක් ලබා ගැනීමට සැලසුම් කර ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මෙම අදහස් පළ කළේ ‘වසරක ප්‍රගතිය’ මැයෙන් ඊයේ (17) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය මහින්ද අමරවීර මහතා:
“මීට වසරකට පෙර ජනාධිපතිතුමා රට භාරගන්න වෙලාවේ ආහාර උද්ධමනය තිබුණේ 90%කට ආසන්න අගයක. මේ වන විට ආහාර උද්ධමනය 4.1%කට අඩුවෙලා. මෙරට කෘෂිකර්මානතයේ පුනරුදයක් ඇති කරමින් රටේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීමට කැපවූ ගොවි ජනතාවට මේ රටේ සමස්ත පුරවැසියන්ගේ ආචාරය සහ ප්‍රණාමය හිමි විය යුතුයි. ඒ වගේම ගොවි ජනතාව යළි වගා කටයුතුවල නිරත වූ නිසා රටට ඩොලර් මිලියන 400ක් ඉතිරි වෙලා තිබෙනවා.”

“තිරසර කෘෂිකාර්මික සංවර්ධනය තුලින් වර්ෂ 2048 වන විට “සංවර්ධිත ශ්‍රී ලංකාවක්” ගොඩනැගීමට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ දායකත්වය ලබා ගැනීම සඳහා, අපනයනය ඉලක්ක කරගත් කෘෂි නිෂ්පාදනයන් බිහි කිරීම, දේශීය ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම හා තරුණ පිරිස, “නව තාක්ෂණය හා බැඳුනු කෘෂි ව්‍යවසායකයන්” බවට පත් කිරීම යන අරමුණු සපුරා ගැනීම හා කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාළ සියලු ආයතන නියාමනය කිරීම සඳහා කෘෂිකර්ම ක්ෂේත්‍රය නව්‍යකරණය කිරීමට ජාතික ප්‍රතිපත්තිමය රාමුවක් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි රුහුණු විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ගාමිණි සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට සකස් කරමින් තිබෙනවා. මෙම ප්‍රතිපත්ති රාමුව 2023 අගෝස්තු මස අවසන් වන විට නිම කිරීමට නියමිතයි”

“ඒ වගේම මෙරට සාමාන්‍ය වී අස්වැන්න හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 3.7 ක් පමණ වනවා. හම්බන්තොට තෝරාගත් ගොවීන් විසින් යහපත් කෘෂිකාර්මික පිළිවෙත් අනුගමනය කිරීම තුළින් සහ සහ ගුණාත්මක බීජ ද්‍රව්‍ය භාවිතයෙන් හෙක්ටයාරයකින් වී මෙට්‍රික් ටොන් 10.25 ක් ලබා ගැනීමට සමත්ව තිබෙනවා. එනිසා වී සඳහා දැනට පවතින සාමාන්‍ය වාර්ෂික අස්වැන්න මෙ.ටො. 3.7 සිට මෙ.ටො. 7.4 දක්වා කන්න 06 කින් දෙගුණ කිරීම මුලික ඉලක්කයයි”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *