වසරක් ඇතුළත කෝච්චිය නුවරට යවනවා.

දුම්රිය සේවා වසරක් ඇතුළත මහනුවර දක්වා නැවත ආරම්භ කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන ඊයේ මාධ්‍යවේදීන් හමුවේ ඊයේ (10) පැවසීය.

දිට්වා ව්‍යසනයෙන් රඹුක්කන සිට පේරාදෙණිය දක්වා දුම්රිය මාර්ගයට වැඩිම හානියක් සිදුවී ඇති අතර අලුත්වැඩියාවන් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 74ක් පමණ වැය වන බවට ගණන් බලා ඇති බව ඔහු එහිදී පැවසීය .

ගම්පොළ-නාවලපිටිය කොටසටසේ අලුත්වැඩියා කටයුතු සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 35ක් පමණ වැයවෙතැයි ඇස්තමේන්තු කර ඇති බවත් අනතුරුව ඉන්පසු නාවලපිටියේ සිට නානුඔය දක්වා කොටස ද ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය බවත් ඔහු සඳහන් කළේය .

මෙම කටයුතු සඳහා ප්‍රමාණවත් අරමුදල් රජයට ඇතත්, මිනිස් බලය සහ යන්ත්‍රෝපකරණ සපයා ගැනීම අභියෝගය වී ඇතිබව ඔහු එහිදී පවසීය .

“යකා පාලම ලෙස පොදුවේ හැඳින්වෙන පේරාදෙණිය පාලම ප්‍රතිසංස්කරණය කිරීම සඳහා පමණක් ඇමෙරිකානු ඩොලර් මිලියන 18ක් පමණ වැයවෙනවා. ඒ නිසා මේ මාර්ගය ප්‍රතිසංස්කරණය කරන්න විශාල පිරිවැයක් දරන්න සිදුවෙනවා. කොහොම වුණත්, අවම වශයෙන් වසරක් ඇතුළත මහනුවර දක්වා දුම්රිය ධාවනය කිරීමට අපි අපේ උපරිමය කරනවා,” යනුවෙන් ඔහු පැවසීය.