වව්නියාව, පොම්පෙමඩු ප්රදේශයේ පිහිටි වන රක්ෂිතයකට අයත් භූමියක් නීතිවිරෝධී ලෙස අත්පත් කරගැනීමට පිරිසක් විසින් දරන ලද උත්සාහයක් මැඩපැවැත්වීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ වව්නියාව දිසා වන නිළධාරිවරයා සඳහන් කළේ, අදාළ භූමිය මීට පෙර හමුදා කඳවුරක් පවත්වාගෙන යාම සඳහා වෙන් කර තිබූ හෙක්ටයාර් දහයක ප්රදේශයක් බවයි
එම හමුදා කඳවුර පසුගියදා ඉවත්කරනා ලද බවත්, ඉන් අනතුරුව එම ඉඩම නැවත වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු වී ඇති බව ඔහු අවධාරණය කරයි .
ඉකුත් සති අන්තයේදී කිසියම් පිරිසක් විසින් මෙම රජයේ ඉඩම බලහත්කාරයෙන් අත්පත් කරගැනීම සඳහා වැටවල් ඉදිකිරීමට උත්සාහ ගන්නා බව වර්තාවීමෙන් පසු තම නිළධාරීන් එහි ගොස් අදාළ අනවසර ඉදිකිරීම් ඉවත් කර එම ප්රයත්නය අඩපණ කළ බව වන නිළධාරීවරයා පැවසීය .