රෝහල් පද්ධතිය අවධානමේ. රැක ගන්නට ඉදිරියට එන්න .

රජයේ රෝහල් පද්ධතිය ආශ්‍රයෙන් මතුව ඇති ගැටළු පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත්කර ඇත . සංගමයේ ලේකම් ප්‍රභාත් සුගතදාසගේ අත්සනින් යුත් එම නිවේදනය පහත පලවෙයි .

මාධ්‍ය නිවේදනයයි

බිඳ වැටෙන රෝහල් පද්ධතිය රැක ගනිමින් නිදහස් සෞඛ්‍ය සේවාව සුරක්ෂිත කිරීම උදෙසා තිරසාර වැඩපිලිවෙලක් ප්‍රකාශයට පත් කිරීමේ අවශ්‍යතාවය.

මෙරට ජන ජීවිත සහ ශ්‍රම බලකාය ශක්තිමත් කරමින් සුවපත් රටක් සහ අනාගතයක් බිහි කිරීම වෙනුවෙන් ප්‍රමුඛතම කාර්යභාරයක් ඉටු කරනු ලබන්නේ නිදහස් සෞඛ්‍ය සේවාවයි.

පහල මැදි ආදායම් ලබන රටක් ලෙස ශ්‍රී ලංකාව, ඉහළ ආදායම් ලබන සංවර්ධිත රාජ්‍යන්ට නොදෙවෙනි සෞඛ්‍ය සේවාවක් ජනතාවට සැපයීමට සමත්ව තිබිම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රශංසාවට ලක්ව ඇත. එහිදි තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ලබන්නේ වෛද්‍යවරුන් ප්‍රමුඛ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයයි.

එහෙත් රෝහල් පද්ධතියේ තුළ පවතින ගැටලු නිවැරදිව හඳුනා ගනිමින් එම ගැටලු සඳහා ඒකාකාරී විසඳුම් ලබාදීමට අපොහොසත් වීම හේතුවෙන් මෙරට රෝහල් පද්ධතිය සහ රෝගී සත්කාර සේවාවන් බිඳ වැටීමේ අවධානමකට ලක් වී ඇත.

නිදහසින් දශක 08 කට ආසන්න කාලයක් ගත වී තිබුනද නිදහස් සෞඛ්‍ය සේවාවන් ලබා ගැනීම සඳහා අරගලයක නිතර වීමට තවමත් ජනතාවට සිදු වී ඇත.

ශ්‍රී ලංකාව තුළ පැවති ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් වැඩිම බලපෑමට ලක් වූයේ රෝහල් පද්ධතියයි. එසේ වුවත් රෝගී සත්කාර සේවාවන් ගුණාත්මකව සහ අඛණ්ඩව පවත්වාගෙන යාමට විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය දැවැන්ත කැප කිරීමක් සිදුකරමින් සිටී.

වෛද්‍යවරුන් ප්‍රමුඛ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ කැපකිරීම් හේතුවෙන් එම ගැඹුරු අර්බුදයේ සැබෑ ස්වරූපය තවමත් සැඟවී පවතී.

මානව සම්පත් හිඟය, ඖෂධ හිඟය, මූලික පහසුකම් නොමැති වීම, රෝහල් පද්ධතිය තුල ආරක්ෂාව බිඳ වැටීම වැනි ගැටළු ගණනාවක් හේතුවෙන් උද්ගත වී ඇති මෙම අර්බුදය සඳහා වහාම විසඳුම් ලබාදීමට අසමත් වන්නේ නම් රෝහල් පද්ධතිය නුදුරේදීම බිඳ වැටීම වැළැක්විය නොහැකි වනු ඇති බව දිගින් දිගටම අපගේ සාමාජිකත්වය අප වෙත තොරතුරු සපයමින් පවති.

රාජ්‍ය තුළ ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම ඕනෑම රජයක අත්හළ නොහැකි වගකීමකි. එබැවින් අර්බුදකාරී සමයක වුවද ජනතාවගේ ජීවත්වීමේ අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් නිදහස් සෞඛ්‍ය සේවාවට ප්‍රමුඛත්වය ලැබිය යුතුය.

එහිදී රෝහල් පද්ධතියේ සහ නිදහස් සෞඛ්‍ය සේවාවේ ගැටළු විසඳීම අරමුණු කර ගනිමින් කෙටිකාලීන සහ දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් සහිත තිරසර සැලසුමක් ක්‍රියාත්මක වීම යුගයේ ප්‍රබල අවශ්‍යතාවයක් බවට පත්වී ඇත.

එබැවින් ඉදිරි ආර්ථික සහ සංවර්ධන උපායමාර්ග නිර්ණය කිරීමේදී, සෞඛ්‍ය සේවාව සුරක්ෂිත කරමින් ගුණාත්මක බව රැක ගැනීම කේන්ද්‍රීය සාධකයක් විය යුතුය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමේදි රෝහල් පද්ධතිය මුහුණ දී ඇති අර්බුදකාරි වාතාවරණය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වූ අතර නිදහස් සෞඛ්‍ය සේවාවට පණ පොවන ක්‍රියාකාරි සැලැස්මක් සදහා යෝජනාවලියක්ද සාකච්ඡා කරන ලදී.

විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් රට තුළ රැඳී සිටීම දිරිමත් කිරීම අරමුණු කරගනිමින්, ආර්ථික ස්ථායිතාවය තහවුරු කිරීම හා තෘප්තිමත් වෘත්තීය පරිසරයක් බිහි කිරීම වෙනුවෙන් කාල රාමුවක් සහිතතිරසාර වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම.
රෝහල් පද්ධතිය තුළ පවතින ඖෂධ සහ උපකරණ හිඟය තිරසාර ලෙස විසඳමින්, ඖෂධ සැපයුම් ක්‍රියාවලියේ ගුණාත්මක බව සහ අඛණ්ඩතාව පවත්වා ගැනීම සඳහා කෙටිකාලීන සහ දීර්ඝකාලීන උපාය මාර්ග සහිත ශක්තිමත් වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීම.
රෝහල් පද්ධතිය තුළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නව ක්‍රමෝපායන් ක්‍රියාත්මක කිරීම, අවශ්‍ය නව නීති ප්‍රතිපාදන හඳුන්වාදීම සහ සෞඛ්‍ය ආයතන වලට ආවේණික වූ ක්‍රියාකාරී සැලසුම් ස්ථාපිත කිරීම.

සෞඛ්‍ය පද්ධතිය තුළ පවතින සේවා අවශ්‍යතාවයන් සහ අනාගත සේවා පුළුල් කිරීම් විශ්ලේෂණය කර, සෞඛ්‍ය පද්ධතියේ අනුමත වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව ප්‍රක්ෂේපණය කිරීම සහ ඊට අනුරූපව අනුමතවෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව හැකි ඉක්මනින් යාවත්කාලීන කිරීම.
වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්‌ය මණ්ඩලයේ අධ්‍යාපන, පශ්චාත් උපාධි සහ පුහුණු අවස්ථා පුළුල් කිරීම මගින් රෝගි සත්කාරක සේවාවේ ගුණාත්මක භාවය ඉහල නැංවීම.
රෝහල් පද්ධතිය තුළ රෝගී සත්කාර සේවාවන් ලබාදීමේදී, වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ඒ සඳහා අවශ්‍ය නිල නිවාස, ප්‍රවාහන පහසුකම් ඇතුලු මූලික යටිතල පහසුකම් ප්‍රමිතිගතලෙස ස්ථාපිත කිරීම තුළ යහපත් වෘත්තිය පරිසරයක් බිහි කිරීම.
රෝහල් පද්ධතිය තුළ රෝගීන් සඳහා ලබාදෙන යටිතල පහසුකම් හා සනිපාරක්ෂක පහසුකම් වල ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය ඉහළ නැංවීම.

ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනයකින් යුතුව ක්‍රමවේදයක් සැකසීම සහ ඒ හරහා සෞඛ්‍ය සේවාවන් ජනතාවට වඩා සමීප කිරීම.

ඒ අනුව නිදහස් සෞඛ්‍ය සේවාවේ මානව සම්පත් අර්බුදය ඇතුළු සැබෑ ගැටලු හඳුනා ගනිමින් තිරසර වැඩපිළිවෙලක් කෙටි කාලීන සහ දීර්ඝ කාලීනව ක්‍රියාත්මක කිරීම සඳහා රජය වහාම පියවර ගත යුතු අතර ඉහත අපගේ යෝජනාවලිය මත පදනම්ව සියලු පාර්ශව එක් කරගනිමින් සෞඛ්‍ය පද්ධතිය සහ ජන ජිවිත ආරක්ෂා කර ගැනීමේ අරමුණින් අවශ්‍ය මැදිහත්වීම් සිදු කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සූදානම් බව අවධාරණය කරමු.

වෛද්‍ය ප්‍රභාත් සුගතදාස,
ලේකම්