නිර්වින්දනයට ලක් නොකර රෝගියා අවදියෙන් සිටියදීම රෝගියාගේ මොළයේ ඇති ගෙඩියක් ඉවත් කිරීමේ ශල්‍යකර්මයක් පසුගියදා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය අංශය මගින් සාර්ථකව සිදුකර තිබේ . මෙලෙස ශල්‍යකර්මයට භාජනය වූයේ අනුරාධපුර නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි වෘත්තියෙන් ප්‍රතිමා නිර්මාණ ශිල්පියෙක් වන සමන් ජයසිංහ නැමැත්තෙකි .
සැත්කම කරන අතර තුර රෝගියා නෙළුම් මලක් සිතුවම් කර්මින් පසුවීම විශේෂ සිදුවීමක් විය.
සාමාන්‍යයෙන් මෙවැනි සංකීර්ණ ශල්‍යකර්මයක් සිදුකිරීමේදී රෝගියා සම්පූර්ණයෙන්ම නිර්වින්දනයට (සිහි මුර්ජා) පත්කරයි. එහෙත් මෙම ශල්‍යකර්මයදී රෝගියා සම්පූර්ණයෙන් නිර්වින්දනය නොකර වේදනාවක් නොදැනෙන පරිදි අවම නිද්‍රාශීලී තත්ත්වයකින් (under minimal sedation) පවත්වා ගෙන ගිය බවත් වෛද්‍යවරු පවසති.
මෙහි සුවිශේෂීත්වය නම් ශල්‍යකර්මය අතරතුරදී රෝගියා සහ වෛද්‍ය කාර්ය මණ්ඩලය කථා කරමින් රෝගියාගේ මතක ශක්තිය පරික්ෂා කිරීමට වෛද්‍යවරුනට හැකිවීමය. ඊට අමතරව දකුණුපස අත , කකුල චලනය කිරීම වැනි ක්‍රියාකාරකම් සිදුකිරීම මගින් ඔහුගේ මොළයේ වැදගත්, සංවේදී ප්‍රදේශයන් සංරක්ෂණය කරන අතරතුර වම් මොළයේ තිබූ ගෙඩිය ඉවත් කිරීමට හැකිවූ බව වෛද්‍යවරු පැවසුහ. ශල්‍යකර්මයෙන් පසු රෝගියා කිසිදු සංකූලතාවයකින් තොරව රෝහලින් නික්ම ගොස් තිබෙනවා.
මෙම ශල්‍යකර්මය සිදුකරන ලද්දේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන් වන වෛද්‍ය මධුශංක ගෝමස් , වෛද්‍ය රොහාන් පාරිස් සහ නිර්වින්දක විශේෂඥ වෛද්‍යවරුන් වන වෛද්‍ය ලෙවන් කාරියවසම් , වෛද්‍ය විශාඛා කර්නර් ප්රමුඛ වෛද්‍ය කණ්ඩායමක් මගින්.