ශ්රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින කාණ්ඩ කිහිපයක BYD වාහන තොගයක් බැංකු ඇපකර සහ සමාගම් ඇපකර මත මුදාහැරීමට ශ්රී ලංකා රේගුව අද (11) අභියාචනාධිකරණය හමුවේ සිය එකඟතාවය පළ කළ බව වාර්තා වේ .
ශ්රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින අදාළ වාහන මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම වාහන ආනයනය කළ ජෝන් කීල්ස් පුද්ගලික සමාගම විසින් ගොනුකළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී ශ්රී ලංකා රේගුව විසින් මෙම එකඟතාවය පළ කර සිටියේය.
පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්සානා ජමිල් විසින් මීට පෙර අධිකරණය හමුවේ කරුණු දැක්වූ අවස්ථාවේදී අදාළ වාහන බැංකු ඇපකරයක් හෝ සමාගම් ඇපකරයක් මත මුදාහරීමට ඇති හැකියාව තිබෙන බව දැනුම් දී තිබුණි.
ඒ අනුව රේගුව භාරයේ රඳවා සිටි BYD ඇටෝ ප්රිමියම් කිලෝ වොට් 70, ඇටෝ ඩයිනමික් කිලෝ වොට් 45, ඇටෝ ප්රිමියම් කිලෝ වොට් 45, ඩොල්ෆින් ඩයිනමික් කිලෝ වොට් 70 යනාදී කාණ්ඩවලට අයත් වාහන 625ක් බැංකු ඇපකර හා සමාගම් ඇපකර මත මුදා හැරීමට නියමිතය .