රුසියානු සංචාරකයෙකුට මිලියන 1.7 ක දඩයක්

නොසැලකිළිමත් ලෙස තම මෝටර් රථය දුම්රිය හරස් මාර්ගයට ඇතුළු කළ රුසියානු සංචාරකයකුට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ රුපියල් මිලියන 1.78 ක දඩයක් ගෙවන ලෙස ඊයේ නියෝග කළාය. ඊට අමතරව රථවාහන වරද සඳහා රුපියල් 56,000 ක දඩයක් නියම කරන ලදි .

ලොස්කොටු ඇලෙක්සැන්ඩර් නම් මෙම රුසියානුවා 2023 ජනවාරි 23 වැනි දින තම මෝටර් රථය තවත් මගියෙකු සමඟ දුම්රිය හරස් මාර්ගයයට අනාරක්ෂිතව ඇතුළත්කර ඇති අතර එහිදී බෙලිඅත්තේ සිට මාහෝ බලා යන සීඝ්‍රගාමී දුම්රියේ ගැටී අනතුරක් සිදුව ඇත.

තුවාල ලැබූ ඔහු සහ අනෙක් මගියා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
සිද්ධියෙන් දුම්රිය එන්ජිමට සහ වර්ණ සංඥා පද්ධතියට දැඩි ලෙස හානි සිදුව තිබේ. සංචාරකයාට එරෙහිව මෝටර් රථ මාර්ග නීති රෙගුලාසි යටතේ පොලිසිය විසින් නඩු පවරා තිබූ අතර, දුම්රිය දේපළවලට සිදුවූ අලාභහානි වෙනුවෙන් දෙපාර්තමේන්තුව වන්දි ඉල්ලා සිටියේය.

අදාළ නඩුව ඊයේ විභාගයට ගත් අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට දන්වා සිටියේ මෙම සංචාරකයා පෙබරවාරි 29 වැනිදා රටින් පිටවීමට සූදානම් වන බවත් ඔහු වරද පිළිගන්නා බවත්ය.