බ්‍රිතාන්‍යයේ වුල්ෆ් හැම්ටන් සරසවියේ උත්සවයකට සහභාගී වීම සඳහා ගිය පෞද්ගලික සංචාරයකදී රජයට රුපියල් ලක්ෂ 166 කට අධික පාඩුවක් සිදුකිරීමේ චෝදනාව මත, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට එරෙහිව මහාධිකරණයේ නඩු පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව වාර්තා වේ .
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරගේ මූලිකත්වයෙන් සිදුකළ විමර්ශන වාර්තා පාදක කරගනිමින්, අදාළ පුද්ගලයන් විත්තිකරුවන් ලෙස නම් කර නඩු පැවරීමට අවශ්‍ය කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතී.
මෙම නඩුවේ ඇති විශේෂ ස්වභාවය සලකා බලා, මෙය විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් පත් කරන ලෙස අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමට නීතිපතිවරයා අපේක්ෂා කරනා බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප් පීරිස් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.