රන්වලට ආචාර්ය උපාධියක් නැති බව ඇමති බිමල් පිළිගනී.

හිටපු කතානායක අශෝක රන්වලට සහතිකය ඉදිරිපත් කිරීමට අවශ්‍ය තරම් කාලය ගතවී ඇති බැවින් දැන් ඔහුට සහතිකයක් නැතැයි තමා සිතන බව අමාත්‍ය බිමල් රත්නායක පැවසීය . ඔහු මේ බව පැවසූවේ ඊයේ පැවති විද්‍යුත් මාධ්‍ය දේශපාලන සාකච්චාවකට එක්වෙමිනි .

එම සාකච්චාවේ පූරක නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, අශෝක රන්වලට තම ආචාර්ය උපාධි සහතිකය ඉදිරිපත් කරන බවට ලබාදුන් පොරොන්දුව වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් මෙතෙක් ඉටුකර නොමැති බවය . ඔහු කතානායක ධුරයෙන් ඉවත් කරනු ලැබුවේ නියමිත කාලය තුළ සහතිකය ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ නිසා බවත්, ඒ අනුව පක්ෂයක් ලෙස ඔහුට දිය හැකි උපරිම දේශපාලන දඬුවම ලබා දී ඇති බවත් අමාත්‍ය බිමල් රත්නායක පැවසීය .

වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය .

“ඔහු රටේ තුන්වැනි පුරවැසියා. සහතිකය ඉදිරිපත් කරන්න අවශ්‍ය තරම් කාලය දැන් ගත වෙලා. මම හිතනවා දැන් එතුමාට සහතිකයක් නැහැ කියලා. කථානායක ධුරයෙන් ඉවත් කිරීම කියන්නේ පුද්ගලයෙකුට දේශපාලනිකව සහ පෞද්ගලිකව දිය හැකි බරපතළම දඬුවමයි,”