ඊශ්‍රායල් රැකියා නිසා ශ්‍රි ලංකාවට ලැබෙනා විනිමය ප්‍රමාණය 25% ඉහළවිදේශ රැකියාවලට යාම් පහළට – ආදායම ඉහළට – වැඩි වැටුප් ලැබෙන ඊශ්‍රායල් රැකියාවලින් ලොකු දායකත්වයක්

විදෙස් රැකියා සඳහා පිටත්වයන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව 2025 වසරේ මුල් මාස හය තුළ 5% කින් පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත මගින් හෙළිකරයි .

දේශීය ආර්ථික තත්ත්වයන් වැඩි දියුණු වීම සහ දේශීය වැටුප් ඉහළ යෑම විදේශගත වන ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව අඩුවීමට හේතු වී ඇති බව සඳහන් වේ.

2025 වසරේ මුල් මාස හය තුළ විදේශ රැකියා සඳහා පිටත්ව ගිය සමස්ත ශ්‍රී ලාංකිකයන් ගණන 143,037 ක් ලෙස දක්වෙයි.

පසුගිය ආර්ථික අර්බුදය සමයේ ඉහළ මට්ටමක පැවති විදේශගත වීම, පෙබරවාරි මාසයේ සිට ක්‍රමයෙන් අඩුවීමක් පෙන්නුම් කරන අතර, එය දේශීය ශ්‍රම වෙළඳපොලේ ස්ථායීකරණය වීමේ ප්‍රතිඵලයක් ලෙස දක්විය හැකිබව එම වාර්ථාව පවසයි .

ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව අඩුවී තිබියදීත්, විදේශ ප්‍රේෂණ ලැබීම් හි කැපී පෙනෙන ඉහළ යෑමක් වාර්තා වී ඇත . සැප්තැම්බර් මාසයේදී ශ්‍රමික ප්‍රේෂණ ඇමෙරිකානු ඩොලර් මිලියන 695.7 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය 2025 වසරේ මෙතෙක් වාර්තා වූ තුන්වන ඉහළම මාසික ලැබීමයි.

මෙලෙස විදෙස් ශ්‍රමිකයන්ගේ ලැබීම් වැඩිවීමට යාමට ප්‍රධාන හේතුවක් ලෙස ඉහළ වැටුප් සහිත රැකියාවන්ට ශ්‍රී ලාංකිකයන් යොමුවීම දැක් විය හැක. අතරින් ඊශ්‍රායල් රැකියාවලින් ලැබුණු ආදායම වේගයෙන් ඉහළ ගොස් තිබෙන බව මහ බැංකු වාර්තා පෙන්වා දෙයි. ඉහළ ආදායම් ලැබෙන ඊශ්‍රායල් රැකියා මගින් එක් කාර්තුවකට ලැබුණ ඩොලර් මිලියන ගණන වේගයෙන් ඉහළ යමින් තිබෙන බවද මහ බැංකුවේ වාර්තා පෙන්වා දෙයි.