රජයේ සේවකයන්ගේ තව වරප්‍රසාදයක් කපා දමයි .

රාජ්‍ය නිලධාරීන්ට දේශීය හා විදේශීය වැටුප් රහිත නිවාඩු අනුමත කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නිකුත්කළ චක්‍රලේඛයක සඳහන් වෙයි .

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාරගේ අත්සනින් යුතුව නිකුත්කර ඇති මෙම චක්‍රලේඛය පවසමුයේ ඉකුත් 24 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණයක් මත මෙම පියවර ගන්නා බවය .

ඒ අනුව නව නිවාඩු අයදුම්පත්‍ර හෝ නිවාඩු දීර්ඝ කිරීමේ අයදුම්පත්‍ර භාරගැනීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කළ යුතු බව අමාත්‍යාංශ ලේකම්වරයා, සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත අදාළ චක්‍රලේඛය මගින් දැනුම් දී ඇත .

ජ්‍යෙෂ්ඨත්වයට හා විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි රාජ්‍ය නිලධාරීන්ට වසර 5ක උපරිමයකට යටත්ව දේශීය හා විදේශීය වැටුප් රහිත නිවාඩු ලබා ගැනීමට අවස්ථාව ලබා දෙමින් 2022 වසරේ ජුනි මස 22 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයක් නිකුත් කර තිබුණි .

කෙසේ වෙතත් අමාත්‍ය මණ්ඩලයේ තීරණයකට අනුව එම චක්‍රලේඛයේ සඳහන් විධි විධාන යටතේ දේශීය හා විදේශීය නිවාඩු අනුමත කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට පියවර ගෙන ඇති අතර දැනට දේශීය විදේශීය නිවාඩු ලබා සිටින නිලධාරීන් සඳහා අනුමත කර ඇති කාල සීමාවට අදාළව පමණක් එම නිවාඩුව ලබා ගැනීමේ හැකියාව ඇත.

මේ වන විට නිවාඩු සඳහා අනුමැතිය ලබා එම නිවාඩුව ගත කිරීමේ අපේක්ෂාවෙන් සිටින නිලධාරීන්ට අනුමත කර ඇති කාලසීමාවට අදාළ වන පරිදි නිවාඩුව ලබා ගැනීමේ හැකියාව පවතින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයේ දැක්වෙනවා.