මහේත්‍රාත්වරුන් බඳවා ගැනීමේ සුදුසුකම් වෙනස් කරයි.

මහේස්ත්‍රාත්වරුන් බඳවා ගැනීම සඳහා වන සුදුසුකම් සංශෝධනය කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. ඒ අනුව අධිකරණ සේවයේ දෙවන පංතියේ පළමු ශ්‍රේණීයේ මහේස්ත්‍රාත් තනතුර සඳහා වන සුදුසුකම් මෙලෙස සංශෝධනය කර ඇති බව වාර්තා වෙයි .

අදාළ තනතුර සඳහා සපුරාලිය යුතු සුදුසුකම් 4 ක් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර ඇත .

වසර 03 කට නොඅඩු කාලයක් ක්‍රියාකාරී වෘත්තියේ යෙදී සිටින හෝ යෙදී සිටි නීතීඥවරයෙකු වීම, නීතීඥවරයෙකු වශයෙන් දිවුරුම් දී වසර 3 කට නොඅඩු සේවා කාලයක් ඇති ශ්‍රේෂ්ඨාධිකරණයේ, අභියාචනාධිකරණයේ, නීති පර්යේෂණ නිලධරයෙකු ලෙස සේවය කර ඇති නීතීඥවරයෙකු වීම අදාළ සුදුසුකම් වෙයි .

ඊට අමතරව යම් අමාත්‍යාංශයක, දෙපාර්තමේන්තුවක, රාජ්‍ය සංස්ථාවක හෝ වෙනත් රජයේ ආයතනයක වසර 3කට නොඅඩු කාලයක් නීති නිලධාරියෙකු ලෙස සේවය කර ඇති සහ එම කාලය තුළ නිරතුරුවම අධිකරණය හමුවේ පෙනී සිටි නීතීඥවරයෙකු වීම ද සුදුසුකම්වලට ඇතුළත්කර ඇත.

යම් සමාගමක හෝ බැංකුවක හෝ ආයතනයක නීති නිලධාරියෙකු ලෙස අවුරුදු 3කට නොඅඩු කාලයක් සේවය කර ඇති සහ එම කාලය තුළ නිරතුරුවම අධිකරණය ඉදිරියේ පෙනී සිටි නීතීඥවරයෙකු වීම ද අධිකරණ සේවයේ දෙවන පංතියේ පළමු ශ්‍රේණියේ මහේස්ත්‍රාත් තනතුර සඳහා සුදුසුකමක් ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව සඳහන් කර ඇත

මීට පෙර අදාළ තනතුර සදහා නීතීඥවරයෙකු ලෙස වසර හතරකට නොඅඩු කාලයක් සේවය කර තිබීම සුදුසුකමක් ලෙස ප්‍රකාශයට පත් කරන මුත් මෙවර එය වසරකින් අඩු කර වසර තුන දක්වා පහත දමා ඇත.