පසුගිය සමයේ සමාජ මාධ්‍යයේ බොහෝ කතාබහට ලක්වූ ජාතික රෝහලේ ඇඳ දැන් හිස් ය. එය පිරවීමට බලා සිටි බොහෝ පාර්ශවයනට දැන් අස්වැසිල්ලක් වනු ඇත. නමුත් අද (09) අළුයම මියගියේ සාමාන්‍ය රෝගියෙකු නොවේ.
උප්පැන්න සහතිකයේ ඔහුගේ නම තිබුණේ කොන්කනිගේ ජෝසප් මැල්සි ජැක්සන් ඇන්තනි ලෙසය. බොහෝ දෙනා කලාවට රංගනයට හා ජනප්‍රියත්වයට එන විට තමාගේ නම වෙනස් කර ගනියි. නමුත්ඔහු කලා ලෝකයට ආවේ ද ඔහුගේ උපන් නමිනි. ජැක්සන් එතරම් අව්‍යාජ පුද්ගලයෙකි.
ඇත්තෙන්ම ජැක්සන් ඇන්තනි ( jackson anthony) කවරෙක්ද. ඔහු දස්කම් ඇත්තෙකි. ඔහුට බැරි යමක් නැති තරම්ය. හේ රංගනයට, ගායනයට,වාදනයට,තිර පිටපත් රචනයට, චිත්‍රපට අධ්‍යක්ෂණයට,චිත්‍රපට නිෂ්පාදනයට,ගීත රචනයට, නිවේදනයට, වේදිකා නාට්‍ය රංගනයට,සිනමා රංගනයට, බොහෝ බුහුටිකම් විදහා පෑවේය. එමතුදු නොව සජීවී වැඩසටහන් නිවේදනයට, ලේඛණයට, විනිශ්චයට, පහතරට නර්තන සම්ප්‍රදායේ සුවිශේෂි අංගයක් වන රයිගම් නර්තන සම්ප්‍රදායට,ඓතිහාසික සිද්ධි විචාරයට පමණක් නොව මෙරට බොහෝ ආගම් සහ සංස්කෘතීන් පිළිබඳ ප්‍රාමාණික දැනුමෙන් හෙබි විද්වතෙකි. සැකැවින් කියන්නේනන් සරසවිය ඔහු දෙස හොඳටම බලා තිබුනේය.
ජැක්සන් උපතින් කතෝලික ය. ඔහු ඔහුගේ පියාගේ අඩි පාරේ යමින් කලා ලෝකයට අවතීර්ණ වීය. ඔහු කුඩා කල පාසලේ අධ්‍යාපන චාරිකාවක දී අනුරාධපුරයේ සමාධි පිළිමය අසල හඬා වැලපී තිබුණි. ඒ තමා රෝමානු කතෝලික වීම හේතුවෙන් මහා බෞද්ධ සංස්කෘතිය ඉගෙන ගැනීම ඔහුට අහිමි වේ යැයි බියෙනි . ඉන්පසු බෞද්ධ පොත පත කිය වූ ඔහු ලංකාවේ ඓතිහාසික ස්ථාන පිළිබඳවත් පුරාණ නටඹුන් පිළිබඳවත් අධ්‍යනය කරන්නට විය . එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු බෞද්ධයා රූපවාහිනි නාලිකාවේ ” මහා සිංහලේ බෞද්ධ ඉතිහාසය” නැමැති වැඩසටහන් මාලාව සම්පාදනය කළේය.
බොහෝ දෙනාට අමතකව ගියද ජැක්සන් සිය හොඳ චිත්‍ර ශිල්පියෙකි. 70 දශකයේ අග බාගයේ පලවූ සුහද නම් චිත්‍රකතා පත්ත්‍රයට ඔහු ලිහිණින්ගේ රාත්‍රිය නමින් චිත්‍රකථාවක් ඇන්දේය ජැක්සන් ගේ ප්‍රථම උපාධිය කොළඹ විශ්ව විශ්වවිද්‍යාලයේය. එහිදී මංගල සේනානායකගේ “එහෙත්” නැමැති වේදිකා නාට්‍යයෙන් වේදිකා නාට්‍ය රංගනය ඇරඹූ ඔහු, එතැන් පටන් සුගතපාල ද සිල්වාගේ “මාරාසාද්”, සරච්චන්ද්‍රයන්ගේ ” ලෝමහංස”, දයානන්ද ගුණවර්ධනගේ “මධුර ජවනිකා”, ලූෂන් බුලත්සිංහලගේ “තාරාවෝ ඉගිලෙති”, ධර්මසිරි බණ්ඩාරනායකගේ ” ධවල භීෂණ”, ජයන්ත චන්ද්‍රසිරිගේ ” අත්, මෝරා,ඔත්තුකාරයා” වැනි නාට්‍ය රැසක් රංගනයෙන් හැඩ ගැන්වීය.
ජැක්සන් වේදිකවට සින්නවූවෙක් නොවීය. හේ නානාවිධ කලාවන් හී සිය ප්‍රතිභාව විදහා පෑවේය. ටෙලිනාට්‍ය රංගනය එවන් එක් අංගයකි . ධර්මසේන පතිරාජ ගේ ” කඩුල්ල”, තිස්ස අබේසේකරගේ “පිටගංකාරයෝ”, ජයන්ත චන්ද්‍රසිරිගේ “අකාල සන්ධ්‍යා”, ආනන්ද අබේනායකගේ” අප්පච්චි” වැනි ටෙලිනාට්‍ය උදාහරණ ලෙස පෙන්වා දිය හැකිය. මේ සියල්ලේ විශිෂ්ට ගනයේ නිට්මාණ වුවත් ජැක්සන් එකම එක ධාරාවකට කොටුවූ අයෙක් නොවීය. සුසීමා ටෙලි නාට්‍ය සඳහා ඔහු දැක්වූ දායක්ත්වය ඊට නිදසුනකි. .
ඔහුහේ සිනමා රංගනය ද අමතක නොවන සුළුය, ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘බවදුක’ සහ ‘බවකර්ම’, සිනමාපට යුගලයට ඔහුගේ දායකත්වය අති විශිෂ්ට එකක් විය . උදයකාන්ත වර්ණසූරියගේ ‘ගිනිඅවි සහ ගිනිකෙළි’ සහ ‘රන්දිය දහර’, එච්. ඩී. ප්‍රේමරත්නගේ ‘විසිදැල’, බෙනට් රත්නායකගේ ‘අස්වැසුම’, ජයන්ත චන්ද්‍රසිරිගේ ‘අග්නිදාහය’, ‘ගරිල්ලා මාකටිං’ සහ ‘මහරජ ගැමුණු’, ආචාර්ය සෝමරත්න දිසානායකගේ ‘සූරිය අරණ’,ජැක්සන්ගේ ම ‘ඇඩ්‍රස් නෑ’, එස්. රවීගේ ‘ධර්ම යුද්ධය’ යන චිත්‍රපටවල ඔහුගේ රංගනයන් අදටත් ජීවමානය.
ජැක්සන් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට රැසකි. ‘ජුලියට්ගේ භූමිකාව’, ‘අබා’, ‘ඇඩ්‍රස් නෑ’ යනු ඒවායින් කීපයකි. තවද ඉදිරියේදී තිරගත තිරගතවීමට නියමිත ‘එක ගෙයි සොකරි’ සහ ‘සම්බුලා’ යන සිනමා සිත්තම් ද්විත්ව එහි ද ඔහුගේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂණ හැකියාව අපට දක්නට ලැබෙතැයි විශ්වාසය.
ජැක්සන් ගායකයෙකි. සුසීමා ටෙලිනාට්‍ය සඳහා ක්ලැරන්ස් විජයවර්ධන ගේ සංගීතයට ගීත හතරක් ඔහු ගායනා කළේය. අදටත් ජනප්‍රිය ” ලන්දේ උකුල උඩ” හා ” දෑස පියාගත් කල මට මැවෙන්නෙ ඔබෙ රුව” බණ්ඩාර දෙයියෝ ටෙලි නාට්‍යයෙහි තේමා ගීතය මෙන්ම සිය පවුලේ සාමාජිකයින් සමග ගයන ” අහස පොලව උහුලනවලු” යන ගීතය ද ඔහුගේ ගීත අතරින් අතිශය ජනප්‍රිය ය. ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කළේ ඔහු ඉතාම අතලොස්සකි. 1998 දී “ඇසල කළුවර”, 2017 දී ” සී රජ” මෙන්ම සුමති, රයිගම් හා රාජ්‍ය සම්මාන මෙන්ම විදෙස් සම්මාන හතළිස් දෙකක් දිනාගත් “දස්කොන්” ටෙලි නාට්‍යය ද ඒ අතර වෙයි
බොහෝ දෙනාගේ අවධානයට ලක් නොවුනද ජැක්සන් රසවත් තීරු ලිපි රචකයෙකි. ඔහු ලක්බිම ඉරිදා සංග්‍රහයට ‘පනාපුත්‍ර කුහුඹු පැණියා’ නමින් අපූරු ලිපි පෙළක් ලීවේය. ජැක්සන් පනාපුත්‍ර කුහුඹු පැණියා ලෙස නම් කරනුයේ ප්‍රේමකීර්තිද අල්විස් ය. පනාපුත්‍ර කුහුඹු පැණියා නම සෑදී ඇත්තේ ජැක්සන් ඇන්තනී කියනා නම අමුවෙන් හෙළබසට පෙරලීමෙනි. ජැක් යනු කොස් ය. සුද්ද සිංහලෙන් කොස් යනු ”පනා”ය. සන් යනු පුතා නොහොත් පුත්‍රයාය. ඇන්තනී යන්නට ඇන් ට් හනි ලෙස විසන්දි කිරිමෙන් කුහුඹු පැණියා කෙස ගෙන පනාපුත්‍ර කුහුඹු පැණියා බිහිවන්නේය. මේ රසවත් නම තැබූ ප්‍රේමකීර්තිත් අද නැත. ජැකසනුත් නැත. එහෙත් මෙ රස මතකයන් තව බොහෝ කාලයක් පවතිනු ඇත.
‘කන්ද උඩ ගින්දර’ නවකතාවත්, ඉන් නොනැවතී ඔහු ලියූ ”මහාවංශ ටීකාව’ත් ජැක්සන්ගේ අසම සම කෘතීන් ය . ඔහු වර්ෂ 2000 සිට ‘මහාසිංහල වංශකතාවේ’ වැඩසටහන් 100 ක් අඛණ්ඩව ඉදිරිපත් කළේය. එපමනක් නොව ජාතික රූපවාහිනියෙන් ඉදිරිපත්කළ ‘මහා සංචාරේ’, ‘ගඟ දිගේ’, ‘සලංහන්තේ’ වැනි වැඩසටහන්වලින් ජැක්සන් රූපවාහිනී මාධ්‍යක් කොට ඉතිහසය ඉගෙනීම රැල්ළක් කළේය .
ජැක්සන්ගේ පවුලේ සහෝදරයන් පස් දෙනෙකි. වැඩිමහල් සහෝදරයා සේනක ටයිටස් ඇන්තනි 2017 දී මිය ගියේය. ඔහුගේ අනෙකුත් සහෝදරයන් වන්නේ සුදත් ඇන්තනි, සමන් ඇන්තනි සහ මොහාන් ඇන්තනි ය.
ජැක්සන්ගේ බිරිඳ කුමාරි මුණසිංහ, අකිල ධනුද්දර හා සජිත නම් පුතනුවන් දෙදෙන සහ මාධවී වත්සලා දියණිය කලාවට සම්බන්ධිත ය. සැමියාගේ වියෝව බිරිඳටත්, පියාගේ වියෝව දරුවන්ටත් සැබැවින්ම සංවේදීය. නමුත් ජැක්සන්ගේ ජැක්සන් ගේ වියෝව කලාවට හා ලාංකේය සංස්කෘතියට ආදරය කරන්න සියලු දෙනාටම සංවේදීය.
ජැක්සන් අනතුරට පත් වාහනය ගැනද යමක් නොලියාම බැරිය. එය ඔහුටම ගැලපෙන අපූරු වාහනයක් විය. ජැක්සන් වසර 26 ක්ම පැද ගියේ එම ටොයොටා ඩබල් කැබ් ෆෝ වීල් රථයයි. 1997 දී ලක්ෂ 12 කට ඔහු ඒ වාහනය ගත්තේ ‘සවන’ නාලිකාවේ සේවය කරන කාලයේ සිය මාසික වැටුපෙන් වාරික කැපීයන ආකාරයෙන්ය. පසුගිය වසරේ ජූලි දෙවන දින අනුරාධපුර තලාවෙදී වල් අලියෙකු ගැටෙන්නේද ඒ වාහනයටය. ජැක්සන් සමග වාහනයද යන්නට ගියේය. එහි බඳ දිරායාම සහ අනතුරේ බරපතලකම නිසා එය යළි අළුත් වැඩියා කළ නොහැකි බව පැවසේ. ජැක්සන් ජිවිතයේ ලෞකික ඉලක්ක එතරම් තදින් හඹාගිය කෙනෙක් නොවේ. ඔහු ජීවිතයෙහි ප්‍රථම වතාවට අලුත් වාහනයක් පැදගෙන ගියේ ‘මහා සංචාරය’ සඳහාය. ‘මහා සංචාරය’ට මයික්‍රෝ සමාගම විසින්ම අලුතින්ම එකලස් කරන ලද මෝටර් රථයක් සපයා තිබිණි. පසු ගිය යහපාලන රජය සමයේ ඒ වාහනය ගැන කටඋත්තරයක් දෙන්නට ජැක්සන්ට අපරාධ පරීක්සණ දෙපාර්තමෙන්තුවට පවා යාමට සිදුවිය,
ජැක්සන් නම් කලා කරුවා සිය දක්ෂතාවයන් මගින් දිනාගත් හා ඔහුට උරුම වූ සම්මාන ලැයිස්තුවෙන් කොටසක් පහත පරිදි දිගහැරීමට කැමැත්තෙමි.
1980 හොඳම නළුවා,1980 හොඳම පිටපත ,1980 හොඳම නිෂ්පාදනය (ජාතික නාට්‍ය උළෙල), 1983 “මෙතනින් මාරුවෙනු” හොඳම සහය නළුවා, 1986 “මරාසාද්” හොඳම නළුවා (දිවයින සම නාට්‍ය උළෙල), 1987 “මරාසාද්” හොඳම නළුවා (විජය රූපවාහිනී සම්මාන), 1987 “කඩුල්ල” හොඳම නළුවා (උන්ඩා සම්මාන), 1991 “කඩුල්ල” හොඳම නළුවා, 1992 “මහමෙර පාමුල” හොඳම පිටපත , 1996 “අකාල සන්ධ්‍යා” රංගනය සඳහා විශිෂ්ටතා සම්මානය (සුමති සම්මාන) 1997 “පිටගම්කාරයෝ” හොඳම නළුවා, 2002 “මහා සිංහලේ වංසකතාව” මාධ්‍ය සඳහා විශිෂ්ටතා සම්මානය, 2004 “යෙහෙලි” හොඳම වත්මන් සිදුවීම, 2008 “ගඟ දිගේ” හොඳම සඟරා වැඩසටහන , 2008 “අසල්වැසි කතා” මාධ්‍ය සඳහා විශිෂ්ටතා සම්මානය , 2016 “දස්කොන්” හොඳම ටෙලිනාට්‍යය , 2016 “දස්කොන්” හොඳම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය , 2016 “දස්කොන්” හොඳම ටෙලිනාට්‍ය පිටපත , 2018 “සී රජ” හොඳම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය , 2018 “සී රජ” හොඳම ටෙලිනාට්‍ය පිටපත (ජන මාධ්‍ය සම්මාන), 2006 “මහා සිංහලේ වංසකතාව” හොඳම රූපවාහිනී වැඩසටහන, 2006 හොඳම රූපවාහිනී ඉදිරිපත් කරන්නා දිනාගති (විචාරක සම්මාන), 1995 “පුනරුප්පත්තිය” හොඳම නළුවා, 1996 “ජුලියට්ගේ භූමිකාව” වඩාත්ම ප්‍රවර්ධක අධ්‍යක්ෂ, 1997 “ගිනි අවි සහ ගිනි කෙලි” හොඳම නළුවා (සිග්නීස් ඕ.සී.අයි.සී සම්මාන), 1996 “ලොකු දුව” හොඳම නළුවා , 1997 “බව කර්ම සහ බව දුක” හොඳම නළුවා, 2002 “අග්නිදාහය” කැපී පෙනෙන රංගනය, 2005 “රන්දිය දහර” කැපී පෙනෙන රංගනය, 2005 “ගරිල්ලා මාර්කටින්” කැපී පෙනෙන රංගනය දිනාගති(සරසවිය සම්මාන උළෙල)1996 අයෝමා කුසලතා සම්මාන, 1997 බව දුක හොඳම නළුවා, 2004 රන්දිය දහර හොඳම නළුවා, 2005 මිල්ල සොයා හොඳම සහය නළුවා (ජනාධිපති සම්මාන),1997 ජුලියට්ගේ භූමිකාව විශේෂ ජූරි සම්මාන, 1997 බවා දුක හොඳම නළුවා,1998 ගිනි අවි සහ ගිනි කෙලි හොඳම නළුවා,1998 අස්වැසුම හොඳම නළුවා, 2001 සූරිය අරණ හොඳම නළුවා, 2005 ගරිල්ලා මාර්කටින් හොඳම නළුවා, 1997 අග්නිදාහය සංස්කෘතික ජයග්‍රහණය (ස්ලීම් නිල්සන් ජනතා සම්මාන), 2007 අබා වසරේ ජනතා චිත්‍රපටය (රයිගම් ටෙලීස් සම්මාන), 2014 අප්පච්චි හොඳම නළුවා, 2015 දස්කොන් හොඳම නාට්‍ය පිටපත, 2015 දස්කොන් හොඳම නාට්‍ය අධ්‍යක්ෂණය, 2015 දස්කොන් වසරේ හොඳම ටෙලිනාට්‍යය (ලක්ස් දෙරණ සිනමා සම්මාන උළෙල), 2016 “ඇඩ්‍රස් නෑ” හොඳම නළුවා, 2018 “ධර්මයුද්ධය” හොඳම නළුවා, 2019 ජනප්‍රියම නළුවා (හිරු රන් සිනමා සම්මාන උළෙල), 2016 මහරජ ගැමුණු ජූරියේ විශිෂ්ටතා සම්මානය, 2019 විෂම භාග හොඳම නළුවා (ෆොක්ස් ජාත්‍යන්තර සිනමා උළෙල), 2020 විෂම භාග හොඳම සහය නළුවා.
නමුත් දැන් ජැක්සන් ඇන්තනී මිය ගොසිනි. ඔහු වෙනුවෙන් නිවන් සුව පැතීම හෝ ශෝක වීම ජැක්සන්ගේ රසිකයන්ගේ අයිතියකි. ශ්‍රී ලංකා නිව්ස් අප ද ඊට අයිතිය.