අමාත්‍ය මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගෙන ඇති තීරණය නීතියට පටහැනි බව ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා ඊයේ (12) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට පක්ෂයේ විනය කමිටුවට හෝ පක්ෂ නායකත්වයට බලයක් නොමැති බවද ඔහු කියා සිටියා. මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන් සිය පක්ෂ සාමාජිකත්වය අවලංගු කිරීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් විභාගය ආරම්භ කරමින් ජනාධිපති නීතීඥවරයා මේ බව කියා සිටියා.
විජිත් මලල්ගොඩ, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් විභාගය ආරම්භ විය.
හිටපු පරිසර අමාත්‍ය නසීර් අහමඩ් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් ඉවත් කිරීම තහවුරු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා ලබාදුන් තීන්දුව මෙම පෙත්සමට අදාළ සිද්ධියට අදාළ නොවන බව පෙත්සම්කාර අමාත්‍ය මනූෂ නානායක්කාර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ SJB ව්‍යවස්ථාවට අනුව සාමාජිකයෙකු පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමේ බලය ඇත්තේ එහි කෘත්‍යාධිකාරී මණ්ඩලයට පමණක් බවයි.
මෙලෙස සාමාජිකත්වය අහෝසි කිරීමට පක්ෂයේ විනය කමිටුවට හෝ පක්ෂ නායකත්වයට බලයක් නොමැති බවද ඔහු ප්‍රකාශ කළා. යම් සාමාජිකයෙකු පක්ෂයේ ව්‍යවස්ථාව උල්ලංඝණය කළ විට පක්ෂයේ විනය කමිටුවට පැවරෙන්නේ චෝදනා ගොනු කිරීම සහ පරීක්ෂණ පැවැත්වීම පමණක් බවද හෙතෙම කීය. පක්ෂ මහලේකම්වරයාගේ දැනුම්දීමකට අනුව තමන් පක්ෂයෙන් නෙරපා හැර ඇති බවත් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන නොමැති බවත් ඔහු පෙන්වා දුන්නා.
තම පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එරෙහිව තම සේවාදායකයා කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබාගෙන ඇති බවද ඔහු පෙන්වා දුන්නේය. එසේ තිබියදී මනූෂ නානායක්කාර මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට SJB ගෙන ඇති තීරණය පක්ෂ ව්‍යවස්ථාවට සම්පූර්ණයෙන්ම පටහැනි බව ජනාධිපති නීතීඥවරයා පැවසීය. එය අසාධාරණ සහ අත්තනෝමතික තීරණයක් බවද ඔහු පෙන්වා දුන්නේය.
එම කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය ඔක්තෝම්බර් 24 දක්වා කල් තැබීමට විනිසුරු මඩුල්ල තීරණය කළ අතර පෙත්සම්කරුවන් කියා සිටියේ තමන් SJB යෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස පත්වීමෙන් පසුව රජයට සහය පළ කළ බවයි. 2022 මැයි මාසයේ සිට තමන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවට පක්ෂයේ මහලේකම්වරයාගෙන් ලිපි කිහිපයක් ලැබී ඇති බවද පෙත්සම්කරුවෝ කියා සිටියහ. SJB හි විධායක කමිටුව පත් කර ඇත්තේ පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව නොවන බව පෙත්සම්වල සඳහන් වේ.