මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් පුනරුත්ථාපන ක්‍රියාවලිය අවුල් කරනවා.

පුනරුත්ථාපන ක්‍රියාවලිය මත් ද්‍රව්‍ය ජාවාරම් කරන ජාවාරම්කරුවන්ට අභියෝගයක් බවට පත්ව ඇතිබැවින් ඔවුන් එම ක්‍රියාව අවුල් කිරීමට කටයුතු කරමින් සිටිනා බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් පවසයි

තවද පුනරුත්ථාපනය වන අයට විවිධ හිංසා කරන බවටත්, ආහාර, නවාතැන් ස්නානය කිරීමේ පහසුකම් නොලැබෙන බවටත් නගන චෝදනා සියල්ල අසත්‍ය බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.

පුනරුත්ථාපන කාර්යාංශයේ ප්‍රගතිය හා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව දැනුවත් කිරීම සදහා අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (15) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් දර්ශන හෙට්ට්ආරච්චි මෙම අදහස් පළ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ කොමසාරිස් ජනරාල්වරයා මෙසේද සදහන් කළේය.

”අධිකරණ අමාත්‍යතුමාගේ උපදෙස් පරිදි පුනරුත්ථාපන ක්‍රියාවලිය නව මාවතකට යොමු කර තිබෙනවා. පුනරුත්ථාපනය සදහා යොමු කරන්නේ මත් ද්‍රව්‍ය සදහා ඇබ්බැහිවීම හේතුවෙන් සමාජයට හිරිහැරයක් වන අයයි. ඒ අය පුනරුත්ථාපන වන අය මධ්‍යස්ථානවලින් පැනලා යනවා. කලබල ඇති කරනවා කියලා මේ වගේ දේවල් මේ දිනවල වැඩි වශයෙන් කතා කරනවා. දීර්ඝකාලීනව මත් ද්‍රව්‍ය සදහා යොමු වෙලා පුනරුත්ථාපනය වන මේ පුද්ගලයින් එක් ස්ථානයක රදවා තබා ගෙන ඉන්නවා කියන එක අභියෝගාත්මක කාර්යභාරයක් බව කිව යුතුයි. පුනරුත්ථාපනය වන්නේ විවධ මානසික තත්වයන්ගෙන් පසුවන අයයි. ඒ නිසා මේ අය කලහකාරි ලෙස හැසිරෙනවා. යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශවලට මේ අය පාලනය කරන්න පුළුවන් . එය ඉවසීමෙන් කළ යුතුයි. පුනරුත්ථාපනය වන අය කලහකාරී ලෙස හැසිරෙන සෑම අවස්ථාවකම නිලධාරීන් සංයමයෙන් හැසිරෙනවා. පුනරුත්ථාපනය වන සෑම පුනරුත්ථාපනලාභියෙක් සදහාම අදාල කාලය තුළ විවිධ පුහුණුවීම් ලබා දෙනවා. උපදේශනය, භාවනාව, සංගීතය ආදි විවිධ වැඩ සටහන් පවත්වනවා. පුනරුත්ථාපනය වන කාලය තුළ ඔවුන්ව පුහුණුවීම් විවිධ පාඨමාලා සදහා යොමු කරවනවා. ඒ තුළින් ඔවුන් සමාජගත වීමේදී සමාජයේ පිළි ගන්නා අය බවට පත් වෙනවා.”