බෞද්ධ භික්ෂුවක් කාදිනල් හිමියන් නොමග යවලා

තම කැබිනට් මණ්ඩලයේ අධිකරණ අමාත්‍යවරයා ලෙස ජනාධිපති නිතීඥ අලි සබ්රි පත් නොකරන ලෙස තමන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හට දැනුම් දුන් බවත්, බෞද්ධ භික්ෂුවක් කළ අවවාදයක් අනුව එසේ කළ බවත් කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ පවසති .

“පාස්කු ඉරිදා ප්‍රහාරය සබ්‍රිට බලපෑම් කළ හැකි කිසියම් ආගමික කණ්ඩායමක් විසින් සිදු කරන ලද්දක් යැයි අප සිතූ නිසා මෙම පත්වීම ගැන මුලදී අපි කලබල වුණා. නමුත් මේ ප්‍රහාරය පිටුපස වෙනත් කුමන්ත්‍රණයක් තිබෙන බව දැනගත් පසු අපි අපේ ස්ථාවරය වෙනස් කළා” යැයි කාදිනල් හිමියෝ වැඩිදුරටත් පැවසූහ.

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයා බැලූ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව නැවත සොයා බැලීමට අනුකමිටුවක් පත් කිරීමෙන් පසු හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ කෙරෙහි තමා තුළ පැවති විස්ශ්වාසය මුළුමනින්ම බිඳ වැටුන බව උන්වහන්සේ අවධාරණය කරති.

නත්තල පිළිබඳව අදහස් දක්වමින් උන්වහන්සේ පැවසූවේ දුප්පතුන්ට ආහාර වේලක් ලබාදී ඔවුන් සමග නතතල ගත කිරීම තම අරමුණ බවත්, සියළු කතෝලිකයන්ගෙන් එසේ කරනා ලෙස ඉල්ලා සිටිනා බවත් උන්වහන්සේ පැවසූහ.