බෞද්ධ උත්සවයකට මියන්මාර හමුදාව පහර දී 40 මරුට.

මියන්මාරයේ චෞන්ග් යූ නගරයේ බෞද්ධ උත්සවය සැමරීමට රැස්ව සිටි ජනතාව වෙත මෝටර් බලයෙන් ක්‍රියාත්මක වන බෝම්බ දෙකක් හෙළීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 40 දෙනකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලැබූ බව බීබීසී පුවත් සේවය වාර්තා කර තිබේ.

ජාතික නිවාඩු දිනයක් වන සහ බෞද්ධ මූලයන් සහිත ‘තඩින්යුට් උත්සවය’ සැමරීම සඳහා සඳුදා චෞන්ග් යූ නගරයට 100ක් පමණ රැස්ව සිටියදී මෙම සිදුවීම සිදු වූ බව ජුන්ටා විරෝධී මහජන ආරක්ෂක බලකාය යටතේ සිටින ප්‍රාදේශීය නිලධාරියෙකු පවසා තිබේ.

බෞද්ධ උත්සවයක් වූ මෙම උත්සවය, ඉටිපන්දම් දල්වා මියන්මාර ජුන්ටා ප්‍රතිපත්තිවලට එරෙහිව විරෝධතා දැක්වීමේ ස්ථානයක් ලෙස වාර්තා විය.

2021 දී මියන්මාරයේ හමුදාව රජයට එරෙහිව කුමන්ත්‍රණයක් දියත් කළ දා සිට එරට සිවිල් යුද්ධයක පවතී. එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තුවලට අනුව සිවිල් යුද්ධයෙන් සිවිල් වැසියන් 5,000කට වැඩි පිරිසක් මියගොස් ඇත.

අන්තර්ජාතික ක්ෂමා සංවිධානය අඟහරුවාදා ප්‍රකාශයක් නිකුත් කරමින්, ප්‍රජාවන්ට පහරදීම සඳහා ජුන්ටාව විසින් මෝටාර් බෝම්බ භාවිත කිරීම විවේචනය කළ අතර එය හෙළා දකිනා බව පවසා ඇත .