බුවනෙකබාහු රජ සමයට අයත් පුරාවිද්‍යා වටිනාකමකින් යුත් රාජ සභා මණ්ඩප ගොඩනැගිල්ල කඩා දැමීම සම්බන්ධයෙන් වන චෝදනාවට වරද පිළිගත් කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු සිව් දෙනෙකුට කුරුණෑගල මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර රණසිංහ විසින් වසර තුනක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.
හිටපු නාගරික කොමසාරිස් ප්‍රදීප් තිලකරත්න, හිටපු නාගරික ඉංජිනේරු චමින්ද බණ්ඩාර අධිකාරි, වැඩ අධීක්ෂක ඉලලුදීන් සුල්ෆිකාර් සහ බැකෝ යන්ත්‍ර ක්‍රියාකරු එස්.පී ලක්ෂ්මන් ප්‍රියන්ත යන අය මෙහි සෙසු විත්තිකරුවන් වූහ.
විත්තිකරුවන්ට චෝදනා පහක් යටතේ අධිචෝදනා ගොනුකර තිබූ අතර ඔවුන් චෝදනා තුන බැගින් වරද පිළිගත් අතර එක් චෝදනාවක් යටතේ වසර තුනක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ අතර ඊට අමතරව පළමු විත්තිකරුට රුපියල් ලක්ෂයක දඩයක් ද නියම කෙරිණි. සෙසු විත්ති කරුවන්ට රුපියල් පනස් දහස බැගින් දඩ නියම විය
ඔවුන් විනාශ කළ ගොඩනැගිල්ල වෙනුවෙන් රුපියල් මිලියන 13.6 ක වන්දියක් ගෙවන ලද අතර වන්දි ගෙවීම පැහැර හරින්නේ නම් තවත් වසර 6 ක සිරදඬුවම් නියම කරන ලදී. විත්තිකරු පැය දෙකක පමණ කාලයක් තුළ වන්දි මුදල් තැන්පත් කළේය.
විත්තිකරුවන් විසින් විනාශ කරන ලද ගොඩනැගිල්ල පුරාවිද්‍යාත්මක වැදගත්කමක් ඇති ගොඩනැගිල්ලක් බවත් ඔවුන් සිදුකළ වරද බරපතළ බවත් රජයේ නීතීඥවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් මුළු රටේම අවධානය යොමු වූ බවත්, විත්තිකරුවන්ට උපරිම දඬුවම් ලැබිය හැකි බවත් මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළේය. හිටපු නගරාධිපතිවරයා නගරයේ පළමු පුරවැසියා ලෙස ඉතා වගකීම් විරහිතව කටයුතු කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
හිරපු අමාත්‍ය ජොන්ස්ටන් ප්රනාදුගේ සමිපතමයෙක් වන හිටපු නගරාධිපතිවරයා පවසා සිටියේ මෙම ගොඩනැගිල්ලේ බුවනෙක නම් අයෙක් හෝටලයක් පවත්වාගෙන ගිය ස්ථානය බවත්, එය බුවනෙකබා රජු සමයට සම්බන්ධ පුරාවිද්‍යා ස්මාරකයක් නොවනා බවත් ය.