පොහොට්ටුව කියනා අකුරු තුනේ අපේක්ෂකයා කවුදැයි ලංසා හෙළිකරයි

බලය බෙදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා සඳහන් කරයි. මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව පැවසීය

එම නිවේදනයේ වැඩිදුරටත් මෙලෙස සඳහන් වේ.

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය ක්‍රියාත්මක කරමින් රටේ සියලු ජනතාවට පිළිගත හැකි වැඩපිළිවෙලක් සකස් කිරීමට යාමේදී ඒ සඳහා විරෝධය පළ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සදාචාරාත්මක අයිතියක් නොමැත. 13 ට එහා ගිය බලය බෙදීමේ විසඳුමකට වුවද එළඹීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මතය විය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ දැනටත් අන්තර්ගත වන අතර ඒ යටතේ රටේ සියළු ජනතාවට පිළිගත හැකි බලය බෙදීමකට වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ සියළු දේශපාලන පක්ෂවල අදහස් ලබාගනිමින් ක්‍රියාත්මක කිරීමට යාමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් විසින් එයට විරුද්ධව අදහස් ප්‍රකාශ කරනුයේ ඔවුන්ගේ “දෙබිඩි පිළිවෙත” රට ඉදිරියේ ප්‍රදර්ශනය කරමිනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණය සඳහා එම පක්ෂයේ අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවටත්, ඒ සදහා අකුරු තුනක නමක් සහිත නායකයකු ඉදිරිපත් කරන බවට විවිධ ඉඟි පළ කරමින් රටේ ජනතාව නොමග යවමින් සිටින්නේ පක්ෂය තුළ පොදු එකඟතාවයක් නොමැතිවීම හේතුවෙනි. හැකිනම් සියලු පාර්ශවයන්ගේ එකඟතාවය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි ජනාධිපති අපේක්ෂකයා ඔවුන් විසින් ප්‍රකාශ කළ යුතුයි.

රටේ ඇතිවූ අස්ථාවරත්වය මත ගොඩනැගුනු අර්බුදයන් හා රට යළි ගොඩනගමින් ආර්ථික, සමාජීය හා දේශපාලන ස්ථාවරත්වයක් උදා කරදුන් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වැඩපිළිවෙළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනමතයක් නොමැති සුළු පිරිසකට අදවනවිට අමතක වී තිබේ. යළි දේශපාලන කටයුතු සිදු කිරීම සදහා අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාව නිර්මාණය කරදුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වය අමතක කර දැමීමට එම පක්ෂයේ සුළු පිරිසක් කටයුතු කිරීම කණගාටුවට කරුණක්.

රට තුළ ඇතිවූ අස්ථාවරත්වය හා ඒ මත ගොඩනැගුනු අර්බුදයන් විසදමින් රට තුළ ස්ථාවරත්වයක් ගොඩනැගීමට හැකි එකම නායකත්වය ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තෝරා ගැනීම වූයේ ද වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහයි. එවැනි තත්ත්වයක් තුළ රට තුළ ඇතිවූ ආර්ථික අර්බුදයන් විසදමින් ජාත්‍යන්තරයේද සහයෝගය ඇතිව රට යළි ගොඩනංවමින් ආර්ථික, සමාජීය හා දේශපාලනික ස්ථාවරත්වයක් ස්ථාපිත කරනු ලැබූ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පිළිබදව රටේ ජනතාව තුළ විශ්වාසයක් ගොඩනැගී තිබේ.

ජනතා අභිමථාර්ථ හදුනා ගත නොහැකි සුළු පිරිසගේ මතය රටේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ඇති බව” නිමල් ලාන්සා මහතා එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර සිටියි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *