පොලිස්පතිවරයාගේ ඉල්ලීම මත පොලිස් කොමිසම විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පරිපාලනය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවක් පවත්වන ලදි . එහිදී අදහස් දැක්වූ එම පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මෙසේ අදහස් පල කලේය.
”පොලිස්පතිවරයාගේ ඉල්ලීම මත පොලිස් කොමිසම විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පරිපාලනය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයෙන් ඉවත් කර තිබෙනවා. ඔහුට එරෙහිව ඉදිරිපත් කර තිබෙන චෝදනාව තමයි පොලිසියේ අතිශය රහසිගත අභ්‍යන්තර තොරතුරු බාහිර පාර්ශවයින්ට ලබා දීමයි. ඇත්තෙන්ම මේක අතිශයින්ම භයානක පූර්වාදර්ශයක්. මේකට දැන්ම තිත තැබුවේ නැතිනම් අනාගතයේ දී අනිවාර්යේන්ම ලංකාවේ දූෂණයක් සොයන්න බැරි වෙනවා.
පොලිසියට බැනියම් මිල දී ගැනීමේ දී පිරිවිතරයේ සඳහන් කොන්දේසි සම්පූර්ණ නොකළ ඉහළ මිලක් ඉදිරිපත් කර තිබුණු සැපයුම්කරුවෙකුට ටෙන්ඩරය පිරිනැමූ බවට පොලිස්පතිට චෝදනාවක් එල්ල වුණා. අඩු මිල ගණන් ඉදිරිපත්කළ එහෙත් ඇතැම් කොන්දේසි සම්පූර්ණ කරන්න අසමත් වුණු සැපයුම්කරුවන්ට අඩුපාඩු සකසා සැපයීමට අවස්ථාව නොදී මිල වැඩි අයෙකුට තමන්ගේ අඩුපාඩු සකසා බැනියම් සපයන්න කියලා දැනුම් දීලා. නමුත් මේ සැපයුම්කරු අඩුපාඩු සකසන්නේ නැතිවම තමයි බැනියම් 175,000 සපයන්නේ. නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත චන්ද්‍රසිරි ඒවා භාර ගැනීම ප්‍රතික්ෂේප කළාම පොලිස්පති ඔහුට බැනලා ඒවා භාර ගන්න කිව්වාලු.
මෙන්න මේ කතාව තමයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක විසින් මාධ්‍යවේදි බිමල් රුහුණුගේට කියන්නේ. පතිනායක මහත්තයා මේක කියන්නේ සමාජ මාධ්‍යවල දාලා පොලිස්පතිට මඩ ගහන්න කියලා නොවේ. මාධ්‍යවල දාලා මේක ප්‍රසිද්ධ කරන්න කියලා නොවේ. මේ පිළිබඳ අල්ලස් කොමිසමට පැමිණිලි කරන්න කියලා. ඉතින් ඒකේ දඬුවම් ලබන්න තිබෙන වරද්ද මොකක්ද . කිසිම වරදක් ඒකේ නෑ .
අල්ලස් කොමිසම රට පුරා පෝස්ටර් ගහලා සම්මන්ත්රණ තියලා ජනතාවට කියන දේ තමයි රාජ්‍ය ආයතනයක සිදුවන දූෂණයක් අල්ලස් කොමිසමට දැනුම් දීම පුරවැසියන්ගේ යුතුකම කියලා. පතිනායක මහත්තයා කරලා තිබෙන්නේ ඒ පුරවැසි යුතුකම ඉටුකිරීමයි . ඒ යුතුකම ඉටු කරන්න ගිහින් දඬුවම් ලබනවා නම් කවුරුවත් රටේ සිදුවන දූෂණ හෙළි කරන්න කටයුතු කරන එකක් නෑ.
පතිනායක ඉටු කරලා තිබෙන්නේ විස්ල් බ්ලෝවර් නැතිනම් නලා පිඹින්නාගේ රාජකාරිය. දූෂණයක් වන විට ඒ ගැන අල්ලස් කොමිසමට පැමිණිලි කරන එක. එවැනි අය රැක ගැනීමට දූෂණ විරෝධි පනතේ විධිවිධාන තිබෙනවා. අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනතේ විධිවිධාන තිබෙනවා. එහෙම නම් නීතිය ක්‍රියාත්මක කරන්න ඕනි පතිනායක මහත්තායට විරුද්ධව නොවේ.
මාධ්‍යවේදියා සහ නියෝජ්‍ය පොලිස්පතිවරයා අතර දුරකතන සාකච්ඡාවේ හඬ පට එළියට දාලා දූෂණයක තොරතුරු හෙලි කරපු පතිනායක මහත්තයාව හෙලිදරව් කරලා එයාව අවදානමක දැම්ම පුද්ගලයින්ට විරුද්ධව. අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය වගේම අල්ලස් කොමිසමත් පතිනායක මහත්තයා රැක ගන්න පෙරට ඒවි කියලා අපි ඉතාම අපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා.”