කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්නට සහ පාර්ලිමේන්තුවේ වැඩ තහනමකට ලක්ව සිටින නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්නට එරෙහිව ඉදිරිපත්ව ඇති පැමිණිලි සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව එහි අධ්යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී තිබේ.
ඒ අනුව වැඩතහනමට ලක්ව සිටිනා නියෝජ්‍ය මහ ලේකම් සහ වත්මන් කථානායක ආචාර්ය ජගත් වික්‍රමනායකට එරෙහි පරීක්ෂණ කඩිනමින් ආරම්භ කිරීමට නියමිතය .
වැඩ තහනමට ලක්ව සිටින නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න විසින් කථානායකවරයාට එරෙහිව දූෂණ චෝදනා අටක් ඉදිරිපත් කර ඇත. ඉන්ධන දීමනා අනිසි ලෙස ලබාගැනීම, නිල වාහන අවභාවිතය, පාර්ලිමේන්තු මාධ්‍ය උපකරණ භාවිතය සහ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත යටතේ තොරතුරු ලබාදීමට බාධා කිරීම ඇතුළු චෝදනා ඒ අතර වේ.
ආර්. කන්නන් නැමැති අයෙකු විසින් චමින්ද කුලරත්නට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. එහි දැක්වෙන්නේ කුලරත්න නියෝජ්‍ය මහලේකම් ධුරයට පත්වූ ක්‍රියාවලිය දූෂිත හා නීති විරෝධී එකක් බවයි.
පරීක්ෂණයේ මූලික පියවර ලෙස අදාළ පැමිණිලිවලට අදාළ ලිපිලේඛන පාර්ලිමේන්තුවෙන් කැඳවීමට කොමිසම තීරණය කර ඇත. එම ලේඛන විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව කථානායකවරයාගෙන් සහ චමින්ද කුලරත්නගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතය.