ප්‍රචණ්ඩ සුළි කුණාටුව ශ‍්‍රී ලංකාවට කඩා වදින්න ආසන්නයි

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වන විට, සුළිකුණාටුවක් දක්වා ර්වධනය වී පොතුවිල් ආශ්‍රිතව, අක්ෂාංශ 6.9°N සහ දේශාංශ 81.9°E ආසන්නයේ කේන්ද්‍රගතව වී ඇත. මෙම සුළිකුණාටුව “දිට්වා” [Ditwah] සුළිකුණාටුව ලෙසින් නම් කර ඇති අතර එය උතුරට බරව වයඹ දෙසට ගමන් කිරීමේ හැකියාවක් ඇත.

සුළිකුණාටුවේ ගමන් මාර්ගය

ගොඩබිම ප්‍රදේශය සදහා:

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ පවතින තද වැසි සහ තද සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තු වේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

උතුරු, උතුරු – මැද, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 200 ට වැඩි ඉතා තද වැසි සහ, සබරගමුව සහ බස්නාහිර පළාත් වලත් බදුල්ල සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 150 ට වැඩි ඉතා තද වැසි ඇති විය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශ වල ඇතැම් ස්ථාන වලට මි. මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැක.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල හමන පැ.කි.මී. (60-70) දක්වා වන ඉතා තද සුළං සමඟ විටින් විට හමන පැ.කි.මී. 80 දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇති විය හැක.

තද වැසි සහ තද සුළං මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග:

ගොඩබිම ප්‍රදේශය සදහා:

සිදුවිය හැකි හානි

කඳුකර ප්‍රදේශ වල (විශේෂයෙන් නාය යාම් අවධානම සහිත ප්‍රදේශ වල) සහ ගංගා ආශ්‍රිතව පහත් බිම් වල ජීවත් වන ජනතාව මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන්න.

කඳුකර ප්‍රදේශ වල මාර්ග භාවිත කරන්නන් සහ රථ වාහන පදවන්නන් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න.

පැල්පත් වලට හා තාවකාලික ඉදි කිරීම්වලට හානි වීම .
වහලවල ඇති තහඩු උළු ආදිය ගැලවී යාම.
විදුලි සහ දුරකථන රැහැන් වලට හානි සිදුවිය හැක.
ගස්වල අතු කැඩීම් සහ මාර්ග අසල ඇති විශාල ගස් ගැලවී යා හැක.
වී වගා බිම්වලට, කෙසෙල්, පැපොල් වැනි පළතුරු වගාවන් වලටද හානි සිදුවිය හැක.
වරාය ආශ්‍රිතව නවතා /රඳවා ඇති යාත්‍රා අංගන වලට හානි වීම
ක්ෂණික ගංවතුර තත්ත්වයන් ඇති විය හැක
වෙරළාසන්න පහත් ගොඩබිම් ප්‍රදේශ මුහුදු ජලයෙන් යටවිය හැක.
අනුගමනය කල යුතු ක්‍රියාමාර්‌ග:

වෙරල ආසන්න තාවකාලික පදිංචිකරුවන් ආරක්ෂිත ස්ථාන වලට ගමන් කිරීම. බලපෑම ඇති ප්‍රදේශ වල අනෙකුත් පදිංචිකරුවන් නිවාස තුලට වී සිටීම.
කඩා වැටෙන ගස්වලින් සහ විදුලි රැහැන් වලින් ආරක්ෂා වීම.

ගිගුරුම් සහිත වැසි පවත්නා අවස්ථාවල රැහැන් දුරකථන සහ විදුලි උපකරණ භාවිතයෙන් වැළකීම.

ඇතිවිය හැකි අයහපත් කාලගුණික තත්වය පිළිබද විමසිලිමත් වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

හදිසි තත්වයකදී ප්‍රාදේශීය ආපදා කළමනා කරණ මධ්‍යස්ථාන නිලධාරීන්ගේ සහය පතන්න.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිලිබඳ අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

මුහුදු ප්‍රදේශ:

ඉහත පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය පැ.කි.මී. (60-70) ක පමණ ඉතා තද සුළං සමඟ විටින් විට හමන පැ.කි.මී. 80 දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැක. දිවයින වටා වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළුවේ.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල ඉතා තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි පැවතිය හැක.

පුත්තලම සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට, මඩකලපුව සහ ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (3.0 – 4.0) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී. මේ හේතුවෙන් එම වෙරළ ප්‍රදේශ වල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතී.

නැවත දැනුම් දෙන තුරු දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙස දැනුම් දෙනු ලැබේ.

අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග

මුහුදු ප්‍රදේශ සදහා:

නැවත දැනුම් දෙන තුරු දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතු වලින් වැළකී සිටින ලෙස දැනුම් දෙනු ලැබේ.

නොවැම්බර් 30 දින දක්වා ඇති විය හැකි අයහපත් කාලගුණික තත්ත්වය පිළිබද විමසිලිමත්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

හදිසි තත්වයකදී ප්‍රාදේශීය ආපදා කළමනා කරණ මධ්‍යස්ථාන නිලධාරීන් ගේ සහය පතන්න.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිලිබඳ අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.