නාය යාමක් නිසා බදුල්ල ලුණුගල මාර්ගය වසා දැමේ.

දින දෙක තුනක සිට බදුල්ල දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පස්සර 13 කණුව අසල නායයාමක් සිදුව තිබෙනවා.

ඒ අනුව පස්සර ලුණුගල මාර්ගයට මාර්ගයට ගල් පෙරලීමෙන් මාර්ගය අවහිර වී ඇති අතර පවතින අවදානම හේතුවෙන් එක් මංතීරුවක් පමණක් විවෘතව තැබීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබේ .

එමෙන්ම පස්සර කනවැරැල්ල බටහිර හෙළපොල ප්‍රදේශයේ නාය යාමක් සක්‍රීය වීම හේතුවෙන් එහි පදිංචි පවුල් තුනක පුද්ගලයින් ඉවත් කර ආරක්ෂක ස්ථාන වෙත යැවීමට පස්සර ප්‍රාදේශීය ලේකම් පියවර ගෙන ඇතිබව වාර්තා වේ .

මේ අතර පවතින අධික වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට අදාලව නාය යාමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය කටයුතු කර ඇත .

ඒ අනුව ඊයේ දිනයේදී බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල, ඇල්ල, බදුල්ල, පස්සර, කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල, මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, රත්තොට, මොනරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර, බිබිල, නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා විමසිලිමත් බවින් සිටින ලෙස නායයාම් අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර ඇත .