නත්තල් දිනයේ ආරක්ෂාවට පොලිසියෙන් 7500 ක්

නත්තල් දින දේව මෙහෙයන් දිවයින පුරා දේවස්ථාන 2,300 කට අධික ප්‍රමාණයක් ආවරණය වන පරිදි පැවැත්වීමට නියමිත බවත් ඊට අදාලව ආරක්ෂක කටයුතු සඳහා 7,500කට අධික පොලිස් භට පිරිසක් යොදවා ඇති බවත් පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.

නත්තල් සහ උත්සව සමයට පෙර සූදානමක් ලෙස මුළු රටම ආවරණය වන පරිදි පුළුල් ආරක්ෂක වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති අතර මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය අනුයුක්ත කර ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි .

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ, ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය විධිවිධාන සලසන ලෙස වැඩබලන පොලිස්පති තෙන්නකෝන් සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට සහ ස්ථානාධිපතිවරුන්ට ලබාදි ඇති උපදෙස් අනුව මෙම වැඩපිල්ඊවෙල ක්‍රියාත්මක බවය.

නත්තල් දිනයේ දිව්‍ය පූජා පැවැත්වීමට නියමිතව ඇති පල්ලි 2,340ක් සමඟින්, රටපුරා පල්ලි 2,862කට පමණ අදාලව සිවිල් කමිටුවක් පිහිටුවා ඇත. අවශ්‍ය ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කිරීම සඳහා මෙම කමිටු සමඟ සම්බන්ධීකරණය කරන ලෙස අදාළ පොලිස් බල ප්‍රදේශවල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, සහකාර පොලිස් අධිකාරීවරුන්, මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් සහ ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබාදී ඇත .