දෝස්තරලා එක්ක චන්ඩිපාට් හරියන්නේ නෑ

වෘත්තීයවේදීන්ගේ ගැටලු සඳහා චන්ඩි පාර්ට් දමනා කිසිම ආණ්ඩුවකට සාර්ථක විය නොහැකි බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පැවසීය .

වත්මන් රජයේ අමාත්‍යවරුන් වෘත්තීය සමිති ව්‍යාපාරය සහ වර්ජන රැළි පිළිබඳව දක්වන දැඩි ස්ථාවරයන් සහ ප්‍රකාශ පිළිබඳව රූපවාහිනි දේශපාලන වැඩසටහනකදී අදහස් දක්වමිනි ඔහු මේ බව පැවසීය. .

වර්තමාන අමාත්‍යවරුන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බරපතළකම තවමත් වටහාගෙන නොමැති බව තමන් දේශපාලනයට පමණක් සීමා නොවී, වසර 15ක් සක්‍රීයව වෛද්‍ය වෘත්තියේ නිරත වෙමින් පෞද්ගලික වෛද්‍ය සේවයේ පවා අත්දැකීම් ලැබූ අයෙකු නිසා , වෘත්තීය සමිතිවලට තමාව රැවටීමට නොහැකි වූ බවත් ඔහු පෙන්වා දුන්නේය .

තම පාලන සමයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සමඟ දැඩි ගැටුම් පැවති බව සිහිපත් කළ හිටපු අමාත්‍යවරයා, එම සංගමයේ වත්මන් ප්‍රධානීන් පවා දැන් ඒ පිළිබඳව කනගාටු වන බව ඔහු පෙන්වාදුන්නේය .

එමෙන්ම ලාල්කාන්ත අමාත්‍යවරයා සහ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වර්ජන රැළි පිළිබඳව දක්වන ස්ථාවරයන් විවේචනය කරමින් ඔහු කියා සිටියේ, වෘත්තීය සමිති පීඩනය හමුවේ අසාධාරණ ලෙස හැසිරීම ආණ්ඩුවක වැරදි ගමනක් බවයි.

“වෛද්‍යවරුන් සහ හෙදියන් කියන්නේ දැන් උපාධිධාරී ඉහළ වෘත්තීයවේදීන්. ඔවුන් එකතු වෙලා එළියට බැස්සොත් මුළු පද්ධතියම අඩපණ වෙනවා. රැලි එනවා – යනවා කියලා මේවා සුළු කරන්න බැහැ. ජනතා විමුක්ති පෙරමුණ වැනි වෘත්තීය සමිති කරපිටින් බලයට ආපු පිරිසක් මෙහෙම කතා කරන එක පුදුම සහගතයි,” යනුවෙන් වෛද්‍ය රාජිත සේනාරත්න පැවසීය.