එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ පැවැති දෙදිනක විවාදයට සහභාගි වෙමින් ජාතික ජන බලවේගයෙ පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක අදහස් දක්වන්නට යෙදුනි.ජනතා විමුක්ති පෙරමුණේ සාම්ප්‍රදායික අදහස් දැක්වීමේ ආස්ථානයෙන් ඔබ්බට යෑමට අසමත් වු ඔහු එක්ස්ප්‍රස් පර්ල් නැවේ වූ හානියට වන්දි ලබා ගැනීම සඳහා දියත් ව තිබෙන්නා වූ අධිකරණ ක්‍රියාවලියේ සාධනීය පැතිකඩ සම්බන්ධයෙන් මැදිහත් භාවයකින් යුත් විචාරශීලී අදහස් දැක්වීමකට නොයා ජවිපෙට ආවේණික සියල්ල පිළිබඳ සත්‍ය දැන ව්‍යාජ අදහස් සමුදායක් සමාජගත කිරීමේ අසාර්ථක උත්සාහයක නියැලෙනු දක්නට ලැබිණ.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමෙන් හෙළිවන කරුණු කාරණාවලින් සිංගප්පූරුවේ ඊට අදාලව පැවරෙන නඩු කටයුත්තට අගතියක් සිදුවන බැවින් මෙම විවාදය නොපවත්වන ලෙස අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියේය. කථානායකවරයාගේ සහ පක්ෂ නායකයන් ගේ එකඟතාවයෙන් මෙම වාදය පැවැත්වෙන්නේ නම් ඉන් නඩු කටයුත්තට සිදුවන හානියේ වගකීම ද එකී පාර්ශ්වයන් විසින් දැරිය යුතු බවත් මෙම විවාදයට සහභාගි වී දේශද්‍රෝහියකු වීමේ පාපකර්මයට කර ගැසීමට තමන් සූදානම් නැති බැවින් තමන් මෙම විවාදයට සහභාගි නොවන බව ආචාර්ය විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළේය.අධිකරණ ඇමතිවරයා එම ප්‍රකාශය කරනු ලැබූයේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිදුවීමට අදාළව වන්දි ලබා ගැනීම සඳහා සිංගප්පූරුවේ නඩු පැවරීම වැළැක්වීමට මෙන්ම ඊට අදාලව නීතිපති දෙපාර්තමේන්තුව සතු නීතිමය වැඩසටහන හෙළිදරව් කරගැනීමට විත්තිය පාර්ශවේ නීතිඥ සමාගම් දියත් කර ඇති මෙහෙයුම පිළිබඳ අවස්ථා කිහිපයකදීම පාර්ලිමේන්තුවට පෙන්වා දීමෙන් අනතුරුවය.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සියල්ලට එරෙහිවීමේ සාම්ප්‍රදායික මනෝ භාවයෙන් යුක්තව සිය කතාව අවසානයේ සඳහන් කරනු ලැබූයේ සියලු තක්කඩින්ගේ අවසාන නවාතැන්පල දේශප්‍රේමයේ ගුබ්බෑයම බවට වු ප්‍රකට දේශපාලන කියමන සඳහන් කරමිනි. ඔහුගේ එම ප්‍රකාශයෙන් ගම්‍ය වනුයේ අනුර කුමාර දිසානායක නම් වූ තමන් දේශප්‍රේමියෙකු බවත් අධිකරණ ඇමතිවරයා සහ සිංගප්පූරුවේ නඩු පැවරීමට කටයුතු කරන සියලු සියලු පාර්ශව දේශද්‍රෝහීන් බවත්ය.
ජනතා විමුක්ති පෙරමුණට සහ එහි නායක අනුර කුමාර දිසානායක ඇතුළු නඩයට සැබෑ දේශප්‍රේමිත්වයට කෙසේ වෙතත් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය සමඟ තිබෙන්නේ අවියෝජනීය බැඳීමකි. ලංකාව දේශප්‍රේමී ස්වර්ග රාජ්‍යයට කැඳවාගෙන යෑමේ එකම පොල්මංකාරයා ජවිපෙ යැයි සිතා සිටින අනුර කුමාර දිසානායකලා වෙනස් දේශපාලන මතයක් දැරූ මහජන පක්ෂයේ හිටපු නායකයකු මෙන්ම ප්‍රකට කලාකරුවකු වූ විජය කුමාරතුංග ,ප්‍රේමකීර්ති ද අල්විස්,තේවිස් ගුරුගේ,නන්දන මාරසිංහ,වැනි චරිත වෙඩි තබා ඝාතනය කරනු ලැබුයේ ද්‍රෝහීන් ලෙස සලකාය.1988 / 89 කාලවකවානුවේ රජයේ රූපවාහිනිය නැරැඹීමටත් ගුවන් විදුලියට සවන් දීමටත් අනුර කුමාර දිසානායකලාගේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය රටේ ජනතාවට තහනම් කළේය. රටේ සිදුවන දෑ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමේ ක්‍රමවේද සියල්ල දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් අඩපණ කර තිබූ එවන් සමයක රජයේ රූපවාහිනිය නැරඹු එසේම ගුවන් විදුලිය ශ්‍රවණය කළ සාමාන්‍ය පුරවැසියන් 219 දෙනෙකු ඝාතනය කිරිම අනුර කුමාරගෙ දේශප්‍රේමී ජනතාව ජනතා ව්‍යාපාරය කළ සිදුවීම් වලින් එකක් පමණි. අද මැතිවරණ කල් දැමීම පිළිබඳව කිඹුල් කඳුළු හෙළන අනුර කුමාර දිසානායකලාගේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය 1987 ඉන්දු ලංකා ගිවිසුමෙන් පසු එළැඹි පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් පමණක් නොව ඡන්දය දැමීමට ගිය සාමාන්‍ය ජනතාවද මරා දැමුවේ කිසිදු හිරිකිතයකින් තොරවය.
අද රටේ පවතින පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයත්,මැතිවරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් විශ්වාසය තබා කටයුතු කරන ජනතා විමුක්ති පෙරමුණේ අතීත ක්‍රියාකාරකම් ගෙනහැර පෑම උචිත නොවන්නේ යැයි කෙනෙකුට තර්කයක් තිබිය හැකිය.ඊට දිය හැකි යහපත් ම පිළිතුරු වනුයේ ඔවුන් විසින් උත්කර්ෂයට නංවන ලද එදා දේශප්‍රේමය විසින් කළ ඝාතන සහ අද දේශප්‍රේමය ඛණ්ඩනය කරන බෙදුම් රේඛාව කුමක්දැයි ඔවුන් නිශ්චිතව රටට හෙළි කළ යුතු නමුත් එය කිරීමට අසමත් වීමය.ඔවුන්ට එසේ කළ හැක්කේ පක්ෂයක් ලෙස ප්‍රසිද්ධියේ ස්වයං විවේචනයක යෙදී සමාව ගැනීමෙනි.එසේ කිරීමට නම්‍යශීලී නොවන අනුර කුමාරලා හට තවමත් නිවැරදි වීමට නොහැකි එක් හේතුවක් වනුයේ ඔවුන්ගේ පරණ ලේවැකි ඉතිහාසය මල් පහන් පුදා දේවත්වයෙන් අදහමින් ඉල් මහ විරු සමරුව නමින් එය තවමත් සමරන්නට පෙළඹී සිටීමය.
එදා මෙන් අදත් අනුරලා තමන්ගේ මතය පමණක් පරමාදර්ශී මතය ලෙස සිතා ඔවුන් විසින් වදාරනු ලබන දේශපාලන මතය සහ දෘෂ්ටිවාදය ඔවුන්ගේ දේශපාලනය විසින් පෙන්වන සපත්තු වලට නොගැලපේ නම් එම සියලු කකුල් කපා දැමීමේ දේශපාලනයක අදටත් ඔවුන් නියැලී සිටී.සමහර ආගම් අනුව සත්‍ය පිළිබඳව නව ගවේෂණ තිබිය නොහැකිය.මන්දයත් ආගමේ ශාස්තෘවරයා සියලු සත්‍යය අනාවරණය කරගෙන ඇත. මෙසේ සිතන රෝගය අනුර ට ද වැළඳී තිබේ. ලෝක දේශපාලනික ඉතිහාසය ගවේෂණය කිරීමේදී පෙනී යන ප්‍රධාන කාරණයක් නම් පැසිස්ට්වාදය ඒකාධිපතිවාදය බිහිවන්නේ එවැනි මනෝභාවයන්ගෙන් යුත් පුද්ගල චරිත වල දේශපාලන ක්‍රියාකාරකම් මගිනි. එවැනි ප්‍රවණතා පැනනැගුණු සෑම තැනකම පාහේ අනුරලා වැනි අනුත්තර නායකයන් සිටි බවට ඉතිහාසය සාක්ෂි දරයි.
ජනතා විමුක්ති පෙරමුණේ ඓතිහාසික ක්‍රියාවලියේ දිගුවක් ලෙස තවදුරටත් සිය දේශපාලනය මෙහෙයවන අනුර කුමාරලාගේ දේශප්‍රේමී දේශපාලන විග්‍රහයට අනුව ද්‍රෝහීන් ලෙස හංවඩු ගසා ඇති පෙරටුගාමී සමාජවාදී පක්ෂය අතීතයේ ලේවැකි අශීලාචාර දේශපාලන භූමිකාව පිළිබඳව ස්වයං විවේචනාත්මක ආපසු බැලීමක් කර ඇත.”1987 ඉන්දු-ලංකා ගිවිසුමට සමගාමීව කරළියට පැමිණි ජනතා විමුක්ති පෙරමුණේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය එම අවධියේ පවත්වන ලද පළාත් සභා මැතිවරණය වර්ජනය කිරීමට පුළුල් ජන සහභාගීත්වයක් සහිතව බලපෑම් කිරීම වෙනුවට මැතිවරණ වර්ජනය සඳහා බලහත්කාරය යෙදවීමට තීරණය කෙරිණ. මෙම තීන්දුවත් සමඟ කෙරුණු ඝාතන සියලු ජාතීන්ට අයත් ප්‍රජාවන් දේශප්‍රේමි අරගලය වටා ඒකාබද්ධ කර ගැනීමට නොහැකි වීමේ අඩුව විසින් එම වගකීම හා හැකියාව අත්පත් කර ගැනීමට නොහැකි විය. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ ආශ්වාදය විසින් සමාජ බලවේගයන් ජාතිවාදී ආස්ථානය කරා ඇදී යන බව දැකීමට අසමත් වීමත් ප්‍රමාද වී හෝ එම ස්ථාවරයෙන් ගෙන් ඉවත් වීමට හා සමාජ බලවේගයන් ඉන් මුදවා ගැනීමට අවශ්‍ය දේශපාලන අරගලය කිරීමට අවශ්‍ය දේශපාලන පෞරුෂය ලඟාකර ගැනීමට නොහැකි වීම බලවත් අඩුපාඩුවකි” (1978/2012 ජවිපෙ ගමන් මග දෙස ස්වයං විවේචනාත්මක ආපසු හැරී බැලීමක් කෘතියෙනි) මෙම ස්වයංවිවේචනයේ යෙදුණු කණ්ඩායම අනුරලා ට අනුව නම් ද්‍රෝහීන් ය.
දකුණු ආසියාවේ මුලින්ම ගෝලීයකරණයට ලක් වූ ශ්‍රී ලංකාවට ප්‍රාග්ධනය රට තුළට ඒමට තිබූ අවස්ථාවලට මාරාන්තික ලෙස එරෙහි වූයේ අනුර කුමාරලගේ දේශප්‍රේමය බව රටට රහසක් නොවේ. කීර්ති විජයබාහු කැප්පෙට්ටිපොළ වර්ගයේ අතීතකාමී දූපත් මානසිකත්වයේ සිර වූ ජවිපෙ ගෝත්‍රවාදී දේශපාලන හැසිරවීම විසින් උසි ගන්වන ලද ශිෂ්‍යයන් තරුණයින් අන්ධ භක්තියෙන් යුතුව දියුණු ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථික කළමනාකරණයක් කරා රට ගෙන යෑමට තිබූ අවස්ථා විනාශ කර දමනු ලැබීය. ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට පත් කිරීමට වගකිව යුත්තේ රට පාලනය කළ පාලකයන් පමණක්ය යන චෝදනාව මුළුමනින්ම සත්‍යයක් නො වන්නේ අනුර ලා ගේ සියල්ලට එරෙහි වීමේ සහ ධනාත්මක කාරණා වලදී පවා බිල්ලන් නිර්මාණය කර සමාජගත කිරීමේ සාම්ප්‍රදායික නරුමවාදී දේශපාලන හැසිරීම ද ඊට බලපෑ බැවිනි.
ජනතා විමුක්ති පෙරමුණේ නායක දේශප්‍රේමී අනුර කුමාර දිසානායකගෙ සහ වත්මන් අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂගේ මෑතකාලීන දේශපාලන භාවිතාවන් සම්බන්ධයෙන් පසු විපරමක් කිරීම වඩා උචිත යැයි සිතේ. ධනපති ආණ්ඩු වලට මුක්කු ගසනවා යැයි අතීතයේ සිට ලංකා සමසමාජ පක්ෂයට සහ කොම්යුනිස්ට් පක්ෂයට චෝදනා කළ අනුර කුමාර දිසානායක හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග 2000 දී පිහිටුවන ලද ආණ්ඩුවේ ඇමති ධුර තුනක් ලබා ගනිමින් පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුවේ හවුල්කරුවන් බවට පත්විය. අනුර කුමාර දිසානායක ද ඒ ආණ්ඩුවේ ඇමතිවරයෙකි. ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය සමඟ සමීප දේශපාලන කටයුතුවල නියැලුණු වත්මන් අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂට එම ආණ්ඩුවේ ඇමති ධුරයක් ලබා ගන්නා ලෙස ඇය විසින් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ඔවු මන්ත්‍රීධරයෙ පමණක් රැඳී සිටියේය.ජවිපෙ එම ඇමති ධුර බාර ගනිමින් කළ දෑ මොනවාදැයි රටේ තරුණයන් නොදැන සිටියත් වැඩිහිටි පරපුරට එය රහසක් නොවේ. අනුර කුමාර දිසානායක ප්‍රමුඛ කණ්ඩායම වැඩ බැරි ටාසන්ලා ය යන සත්‍ය රට ඉදිරියේ මැනවින් අනාවරණය වූයේ ඔවුන්ගේ පළමු රාජ්‍ය පාලන අත්දැකීමත් සමගිනි.
ලංකාවේ පැරණි වාමාංශික පක්ෂ ඔවුන්ගේ සියලු දුර්වලතා අතරතුරඔවුහු කිසි විටෙකත් ජාතිවාදීන් නොවීමට වග බලා ගත්හ. නමුත් වාමාංශික දේශපාලන පක්ෂයකට කොහෙත්ම නොගැලපෙන දේශපාලන ස්ථාවරයකට තල්ලු වෙමින් ඉන් අනතුරුව බලයට පත් වූ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට සමීපව කටයුතු කළ ජවිපෙ දෙමළ සහ මුස්ලිම් විරෝධී ජාතිවාදයක් රට තුළ පෝෂණය කර එය අවසානයේ සමාජගත කිරීමට අවශ්‍ය මතවාදය නිර්මාණය කළේය. යුද්ධය අවසන් වූ පසුව ද ඔවුන් නඩත්තු කළ එම ගෝත්‍රික මතවාදය අවසානයේ ජාත්‍යන්තර ත්‍රස්තවාදයට මෙරටට අතපෙවීමට හැකිවන මනෝභාවයන් සුළු ජාතීන් අතර ජනිත කිරීමට සමත් විය. මෙම වර්ධනයේ එක් ප්‍රතිඵලයක් ලෙස ජවිපෙ සිංහල ජාතිවාදී මතය පෝෂණය කර එය සමාජ ගත කරද්දි මුස්ලිම් අන්තවාදී කොටස් ඊට ප්‍රතිපක්ෂව එම සමාජය අභ්‍යන්තරයේ එකී අන්තවාදය නඩත්තු කළේය.එය පසුව ත්‍රස්තවාදය දක්වා වූ අන්තයකට තල්ලු වී ගියේය.මෙම සමස්ත ක්‍රියාවලියේ දිගුවක් ලෙස වර්ධනය වූ මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් ත්‍රස්ත ක්‍රියාකාරකම් සඳහා සූදානම් වන බවට ඇමැති විජයදාස රාජපක්ෂට ලැබුණු තොරතුරු ඔහු පාර්ලිමේන්තුවට අනාවරණය කරනු ලැබීය. රටේ ජාතික ආරක්ෂාවට එය තර්ජනයක් වන බව ඔහුට තිබූ තක්සේරුව නිසා ඔහු එම වගකීම ඉටු කළ ද ත්‍රස්තවාදය පෝෂණය කළ කොටස් නිරුපද්‍රිතව සිටියදී විජයදාස රාජපක්ෂ ජාතිවාදියකු ලෙස හංවඩු ගසනු ලැබීය.වසර ගණනාවකට පසු එල්ල වූ පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය නොවන්නට අදටත් ඔහුට ජාතිවාදී ලේබලයෙන් ගැලවී යාමට නොහැකි වනු ඇත. පසුව අනාවරණය වූ පරිදි පාස්කු බෝම්බ ප්‍රහාරයේ චුදිතයන්ගේ ඥාතීන් සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණ අපේක්ෂක ලැයිස්තුවල ය.
සිය පක්ෂයෙන් ඉවත් වූ කණ්ඩායම් මහින්ද රාජපක්ෂ පාලනයට පාවා දෙමින් සිටිය අනුර කුමාරලා ව්‍යාජ දේශප්‍රේමය තවදුරටත් නඩත්තු කරමින් සිටියේය.මේ අතර විජේදාස විජේදාස රාජපක්ෂට ඇමති ධුරයක් ලබා ගන්නා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ කළ ඉල්ලීම ඔහු කාරුණිකව ප්‍රතික්ෂේප කළේය.නමුත් ජනාධිපතිවරයාගෙන් දිගටම එල්ල වූ ප්‍රබල ඉල්ලීම සලකා බලා රාජ්‍ය බැංකු දෙක පමණක් භාර ගැනීමට විජයදාස රාජපක්ෂ එකඟ විය. රටේ ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකට විවිධ පාර්ශ්ව වංචා කර තිබූ රුපියල් කෝටි 400 ක මුදල් යළි එම බැංකුවලට ලබාගැනීමට විජේදාස රාජපක්ෂ සමත් විය.රාජ්‍ය බැංකු මංකොල්ල කෑ ඒවා ගිනි තැබූ අනුරලාගේ දේශපාලනයට අනුව ඒවා ද්‍රෝහී ක්‍රියාවන් විය හැකිය.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මැතිවරණ කාලවලදී මැති ඇමතිවරුන්ගේ වංචා දූෂණ ටෙන්ඩර් මගඩි ගැන නොයෙකුත් කතා කියන්නේය.ලිපිගොනු තොග ගණන් ගැන සඳහන් කරන්නේය.නමුත් අනාවරණය කළ එකදු වංචාවක් වත් නොමැති අතර නීතිය හමුවට ගොස් සිය වගකීම ඉටු කරනු කිසිම අවස්ථාවක රටට දැකගත නොහැකි විය.තාවකාලික වින්දනයන් සහ දේශපාලන ආශ්වාදයන් ට ඒවා සීමාවිය. වත්මන් අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ ව්‍යවසාය කාරක සභාවේ සභාපති ධුරයට පත්ව කෙටි කලකින් රුපියල් කෝටි තිස් දාහකට අධික වංචා දුෂණ රටට අනාවරණය කළේය. ඒවා ඉදිරිපත් කරනු ලැබුයේ ආවාට ගියාට නොව නම් ගම් සහිතව ය. විවිධ තාඩන පීඩන එල්ල වූ අතර මරණ තර්ජනද එල්ල විය.ඔහුට එල්ල වූ දේශපාලන පීඩනය හමුවේ තවදුරටත් ආණ්ඩුවේ සිටීමට නොහැකි තත්ත්වයක් උද්ගත විය. අවසානයේ සියලු තනතුරු පසෙක තබා ඔහු 2007 වසරේ රට වෙනුවෙන් යුතුකම ඉටුකර විපක්ෂයේ අසුන් ගනු ලැබූයේ ස්වකීය දේශපාලන පෞර්ෂය ප්‍රකට කරමිනි. ඔහු තමන්ට එල්ල වූ මරණ තර්ජන නොතකා කෝප් කමිටුවේ නිර්දේශ කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙනගොස් වරාය රක්ෂණ සංස්ථාව ඉඩම් රැක ගැනීමට සමත් විය. ලිට්‍රෝ ගෑස් සමාගම බිහි වන්නේ ඔහු කළ තනි අරගලයෙ අතුරු ප්‍රතිඵලයක් ලෙස ය.
ජනතා විමුක්ති පෙරමුණේ කොළඹ දිස්ත්‍රික්කයේ බිම් මට්ටමේ ජනප්‍රසාදයක් දිනා සිටි සුනිල් හඳුන්නෙත්තිලා වැනි චරිත කොළඹ දිස්ත්‍රික්ක ලැයිස්තුවෙන් පිටමං කිරිමට කුමන්ත්‍රණය කළ අනුර කුමාර ඡන්ද දිනන්නට බැරිව ජාතික ලැයිස්තුවෙන්ද පාර්ලිමේන්තුවට ගියේය. නමුත් අනුර කුමාර දිසානායක අවලාද නගන විජයදාස රාජපක්ෂ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පිරිනමන ලද ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරයද ප්‍රතික්ෂේප කළේය. එපමණක් නොව ජනතාවට තමාව අවශ්‍ය නම් ඡන්දයකින් තෝරාපත්කර ගත යුතු බවට ප්‍රසිද්ධියේ ඔහු කියා සිටියේය. පසුව මහරගම ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක ධුරයට පත් වූ ඔහු 2010 අප්‍රේල් මාසයෙ මැතිවරණයට තරග කර පාර්ලිමේන්තුවට තේරී පත් විය.එපමණක් ද නොවේ.දේශපාලන තනතුරක් දරමින් නීතිඥ සංගමයේ නිලවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණය කිරීම සාමාන්‍යයෙන් කළ නොහැකි දෙයක් වුවත් හෘද සාක්ෂියට එකඟව කටයුතු කිරීම හේතුකොටගෙන 70% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් නීතීඥ සංගමයේ සභාපති ධුරයට 2012 දී තේරී පත්විය. විපක්ෂයේ මන්ත්‍රීවරයකු සිටිමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් දරුස්මාන් වාර්තාව හරහා ශ්‍රී ලංකාවට එරෙහිව ගැනීමට නියමිතව ක්‍රියාමාර්ග ජාත්‍යන්තර නීතියට පටහැනි බව ලෝකයට පෙන්වා දෙමින් එය ආපසු හැරවීමට කටයුතු කරනු ලැබුවේ ය. විපක්ෂයේ මන්ත්‍රීවරයකු ලෙස සිටිමින් ඔහු ගනු ලැබූ එම ක්‍රියාමාර්ග වලට ප්‍රසාදය පළකරමින් එවකට පැවති ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ යෝජනාවක් ද සම්මත කෙරිණ. අනුර කුමාරගෙ දේශප්‍රේමයට අනුව නම් මේවා දේශද්‍රෝහී ක්‍රියාවන් වීමට පිළිවන.
ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ගේ සහ විජයදාස රාජපක්ෂ ඇමතිවරයා ගේ දේශපාලන ක්‍රියාකලාපයන් තවදුරටත් සංසන්දනය කළ හැකි නමුදු එය මෙම ලිපිය දීර්ඝ වීමට හේතු වනු ඇත. රුසියානු විප්ලවයේ නායක වී අයි ලෙනින් කළ ප්‍රකාශයකින් මෙය අවසන් කිරීම වඩාත් උචිතය.”ඓතිහාසික අවශ්‍යතාවය පිළිබඳ අදහසින් පුද්ගලයන් ඉටුකරන කාර්ය කොටස කිසිසේත් යටපත් නොවේ.නිසැක ලෙසම ක්‍රියාශීලී නායකයන් වූ පුද්ගලයන්ගේ වැඩකටයුතුවලින් ඉතිහාසය පිරී පවතී”(වී අයි ලෙනින් සම්පූර්ණ කෘති වෙලුම 1පිටුව 159 )
සම්පත් දේශප්‍රිය.