දුම්රියක දමා ගිය ‘ඉන්දීය තරුණියගේ වටිනා භාණ්ඩ’ යළි ලබාදුන් මහත්මයා

ගාල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක සුඛෝපභෝගී මැදිරියක ගමන් ගත් ඉන්දීය ජාතික අවුරුදු 24 ක් වයස තරුණියක් සතු රුපියල් ලක්ෂ හතරහමාරක් පමණ වටිනා ලැප්ටොප් පරිගණකයක් සහ ඒවායේ උපාංග සහිත බෑගයක් අමතක වීමකින් දමා ගොස් තිබියදී එම බෑගය දුම්රිය ආරක්ෂක හමුදාවේ නිලධාරියකු විසින් සොයාගෙන එම තරුණියට භාරදී තිබෙනවා.

මෙම ආදර්ශමත් සත් ක්‍රියාව සිදුකර ඇත්තේ දුම්රිය ආරක්ෂක හමුදාවේ මාලිගාවත්ත කාර්යාලයේ රාජකාරී කරන සැරයන් කපිල මාරසිංහ මහතායි.

ගාල්ලේ සිට පැමිණි දුම්රිය මාලිගාවත්ත දුම්රිය අංගනයට ගාල් කිරීමට ගෙනා අවස්ථාවේ නිරතව සිටි සැරයන් මාර සිංහ මහතා මැදිරියක රාක්කය මත තිබූ බෑගයක් රැගෙන පැමිණ දුම්රිය ආරක්ෂක හමුදාවේ මාලිගාවත්ත ඒකකයේ ස්ථානාධිපති උප පරීක්ෂක නන්දන පෙරේරා මහතාට භාරදී තිබෙනවා.

ඉන්දීය ජාතික තරුණිය බෑගය සොයා පැමිණීමෙන් පසු ඇයට භාරදෙනු ලැබුවා..

සැරයන් මාරසිංහ මහතාට හමුවූ එම බෑගය පහසුවෙන්ම සඟවා තබා ගැනීමට හැකියාව තිබේදී එසේ නොකර එය තමාට බාරදීම ගැන ඉන්දීය ජාතික තරුණිය ඔහුට ස්තුතිය පුදකර ඇතැයි සඳහන්.

ලැප් ටොප් පරිගණකය ඇතුළු උපාංග සහිත මෙම බෑගය තමාට යළි හමුවේ යැයි කියා කිසිසේත් සිතුවේ නොමැති බව ද ඇය දුම්රිය ආරක්ෂක හමුදාවේ නිලධාරීන් සමග පවසා තිබෙනවා.