දකුණු ආසියාවේ වේගවත්ම තරුණ තරුණියෝ ශ්‍රී ලංකාවේ

ඉන්දියා⁣වේ රංචි හි දී පැවැත්වෙන සිව්වැනි දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 100 ඉසව්වේ ආධිපත්‍යය තවදුරටත් තහවුරු කරමින් 100 X 4 සහය ඉසව් ද්විත්වයේ රන් පදක්කම් දිනාගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූහ.

ඒ අනුව තරගාවලියේ දෙවැනි දිනයේ දීත් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් පදක්කම් හතරක් දිනාගත්හ.

ශ්‍රී ලංකා පිරිමි මීටර් 100 සහය කණ්ඩායම තත්ත්පර 39.99 කින් තරගය නිමාකරමින් නව තරගාවලි වාර්තාවක් ද පිහිටුවමින් රන් පදක්කම දිනාගත්හ. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ප්‍රබල ඉන්දීය කණ්ඩායම දෙවන තැනට පත්කරමින් රන් පදක්කම දිනාගත්තේ තත්ත්පර 44.70කින් තරගය නිමාකරමිනි.

ධනංජනා ප්‍රනාන්දු, අමාෂා ද සිල්වා, රුමේෂිකා රත්නායක සහ සෆියා යමික් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළහ.

යමික් මීටර් 100 කේවල ඉසව්වේද රන් පදක්කම දිනාගත් අතර අමාෂා රිදී පදක්කම දිනාගත්තාය. කාලිංග කුමාරගේ පිරිමි මීටර් 400 ඉසව්වේ රන් පදක්කම දිනාගත්තේය.
ඔහු තරගය නිමා කළේ තත්ත්පර 45.21කිනි.

තත්ත්පර 46.81කින් තරගය නිමාකළ කල්හාර ඉන්දූප ලෝකඩ පදක්කම දිනාගත්තේය.
මීටර් 400 කාන්තා ඉසව්⁣වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට සයුරි මෙන්ඩිස් සමත්විය.
ඇගේ තරග නිමි කාලය තත්ත්පර 59.18කි. නදීශා රාමනායකට හිමිවූයේ සිව්වැනි ස්ථානයයි.

මීටර් 2.17 ක දක්සතාඅයක් දක්වමින් උස පැනීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට තරිඳු දසුන් සමත්විය. පිරිමි මීටර් 110 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට තත්ත්පර 13.90කින් තරගය නිමා කළ⁣ රොෂාන් රණතුංග සමත්විය. මීටර් 100 කාන්තා කඩුළු මතින් දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ලක්ෂිකා සුගන්ධි සමත්විය.

ශ්‍රී ලංකා ප්‍රවීණ මැදි දුර ධාවන ශුරී නිමාලි ලියනාරච්චි මීටර් 1500 කාන්තා ඉසව්වේ රිදී පදක්කම දිනාගත්තාය. ඇය තරගය නිමාකළේ මිනිත්තු 4යි තත්ත්පර 25.52ක කාලයක් වාර්තා කරමිනි. මීටර් 1500 පිරිමි ඉසව්වේ රිදී සහ ලෝකඩ පදක්කම් ද්විත්වය ශ්‍රී ලංකාව දිනාගත්තේය.

රුසිරු චතුරංග රිදී පදක්කම දිනාගත්තේ මිනිත්තු 3යි තත්ත්පර 55.12කින් තරගය නිමාකරමිනි.

මිනිත්තු 3යි තත්ත්පර 55.95කින් තරගය නිමාකළ ආර් එම් නිෆ්රාස්ට ලෝකඩ පදක්කම හිමිවිය. කවපෙත්ත විසිකිරීමේ පිරිමි සහ කාන්තා ඉසව් ද්විත්වයේම ලෝකඩ පදක්කම් ශ්‍රී ලංකාව දිනාගත්තේය.

හිටපු දුර පැනීමේ ක්‍රීඩකයෙක් වූ මිලන්ත සම්පත් කවපෙත්ත විසිකිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනාදුන්නේය. ඔහුගේ දක්ෂතාව මීටර් 49.35කි. කාන්තා කවපෙත්ත ඉසව්වේ ලෝකඩ පදක්කම විනෝදනී ලක්මාලි විසින් දිනාගත් අතර ඇයගේ දක්ෂතාවය දක්ෂතාව මීටර් 43.01කි.

සිව්වැනි දකුණු ආසියානු මළල ක්‍රීඩා ශුරතාවලියේ දෙවැනි දිනය අවසන් වන විට රන් පදක්කම් 8ක් සමගින් ශ්‍රී ලංකාව සමස්ත පදක්කම් 23ක් දිනාගෙන සිටියි. ඉන්දියාව රන් පදක්කම් 7ක් සමගින් දිනා ඇති සමස්ත පදක්කම් ගණන 32කි.