දකුණු ආසියානු කළාපයේ විගමනික ශ්‍රමිකයින් සමාජගත කිරීමේ කළාපීය අත්පොත ඇමති මනුෂගේ ප්‍රධානත්වයෙන් එළි දකී

දකුණු ආසියානු කලාපයේ විගමනික ශ්‍රමිකයින් නැවත සමාජගත කිරීම් පිළිබඳ සකස් වූ පළමු “කලාපීය අත්පොත” කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් අද (14) දින එළිදක්වනු ලැබීය.

රටවල් 11ක රාජ්‍ය නියෝජිතයින්ගේ සහභාගීත්වෙන් පැවැති කොළඹ ක්‍රියාවලියේ ක්‍රියාකාරී රැස්වීම අතරතුරදී මෙම අත්පොත එළිදැක්වීම සිදු කෙරිණි.

නැවත පැමිණෙන විගමණික ශ්‍රමිකයින් යළි සමාජගත කිරීම සඳහා ස්ත්‍රී පුරුෂ සමාජභාවයට ප්‍රතිචාර දක්වන තිරසාර විසඳුම් පිළිබඳ සඳහා වඩා ඔබින භාවිතයන් සහ ක්‍රමවේද පිළිබඳවද මාර්ගෝපදේශ මෙම අත්පොතට ඇතුලත්වේ. මෙම අත්පොත සම්පාදනයට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහ සංක්‍රමණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (IOM) සම්බන්ධ විය.

කළාපය තුළ මෙතෙක් විධිමත්ව සාකච්ඡාවකට ලක් නොවූ ක්ෂේත්‍රයක් වන විගමනික ශ්‍රමිකයින් යළි සමාජගත කිරීමට අදාල වැඩපිළිවෙලට මූලිකත්වය සහ නායකත්වය අමාත්‍යවරයා විසින් ලබාදෙනු ලැබීය. ඒ අනුව ඉකුත් 12 වැනිදා ආරම්භ වී පුරා දින 3ක් පැවති කොළඹ ක්‍රියාවලියේ ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීමේදී විගමනික ශ්‍රමිකයින් සිය මව් රටට පැමිණි අවස්ථාවේදී ඔවුන් යළි සමාජගත කිරීමේ ඇති වැදගත්කම අමාත්‍යවරයා විසින් ඊට එක් වූ ජාත්‍යන්තර නියෝජිතයින් වෙත පෙන්වාදෙනු ලැබීය.

එහිදී විගමනික ශ්‍රමිකයින් තිරසාර ලෙස සමාජගත කිරීම සඳහා සහාය වීමේ අභියෝග සහ අවස්ථා සාකච්ඡා කිරීම සඳහා දැනුම සංසදයක් බිහිකිරීමේ වැදගත්කම අමාත්‍යවරයා විසින් පෙන්වා දෙනු ලැබූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස දැනුම් සංසදයක් පිහිටුවීමටද පියරගනු ලැබිණි.

මීට අමතරව මෙම රැස්වීමේදී තේමාවන් තුනක් සාකච්ඡාවට ලක්වූ අතර එහිදී , නිපුණතා සහ සුදුසුකම් හඳුනාගැනීම, ප්‍රේෂණ ලාභදායී වේගවත් සහ ආරක්ෂිත හුවමාරුව, සහ සාධාරණ හා සදාචාරාත්මක බඳවා ගැනීමේ පිළිවෙත්. පිළිබඳවද අවධානය යොමුවිය.
මෙමගින් තේමාත්මක ක්ෂේත්‍ර තුන අතර සහයෝගීතාව පිළිබිඹු කිරීමට ඉඩ සැලසෙන අතර රාජ්‍ය නොවන ක්‍රියාකාරීන් ඇතුළු සාමාජික රාජ්‍යයන් සහ නිරීක්ෂකයින් අතර හොඳම භාවිතයන් බෙදා ගැනීමට අවස්ථාව සලසා දෙනු ලැබීය.

තේමාත්මක ක්ෂේත්‍ර 3 හි සභාපතිත්වය දරනු ලැබුවේ ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ බංග්ලාදේශ රජයන් විසිනි.

ඒ අනුව මෙම රැස්වීමට එක්වූ පාකිස්ථානයේ සහ බංගලාදේශයේ නියෝජිතයින් හටද විගමනික ශ්‍රමිකයින් යළි සමාජගත කිරීමේ ඇති සුවිශේෂී බව අමාත්‍යවරයා විසින් පෙන්වා දෙනු ලැබීය.

එහිදී ශ්‍රි ලංකාව පළමුවරට හදුන්වා දුන් මෙම අත්පොත එම රටවල් තුළද විගමනික ශ්‍රමිකයින් යළි සමාජ ගත කිරීමට යොදා ගැනීමට හැකියාව පවතින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

විගමනික ශ්‍රමිකයින් යළි සමාජගත කිරීමට ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර සම්බන්ධයෙන්ද කොළඹ ක්‍රියාවලියට එක්වූ ජාත්‍යන්තර නියෝජිතයින්ව දැණුවත් කිරීමට අමාත්‍යවරයා පියවර ගනු ලැබීය.

එහිදී ශ්‍රී ලංකාව විගමනික ශ්‍රමිකයින් යළි සමාජ ගත කිරීමට සම්බන්ධයෙන් අත්පත් කරගනෙ ඇති අත්දැකීම් බෙදා ගැනීමටද සූදානම් බවද අමාත්‍යවරයා එහිදී ජාත්‍යන්තර නියෝජිතයින් වෙත සඳහන් කළේය.