ටිරාන් අලස් ඇමති ධුරයෙන් ‘ඉවත් කිරීමේ යෝජනාව’ සම්මතයි

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරන් අලස් මහතාව එම අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ යුතු බවට යෝජනාවක් නීතීඥ සංගමය විසින් සම්මත කරගෙන තිබෙනවා.

පසුගියදා කටුකුරුන්දේ දී ඔහු කළ ප්‍රකාශයක් නිසා මෙම යෝජනාව ඉදිරිපත්ව ඇති බව වාර්තා වනවා.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරන් අලස් මේ වන විට විදේශගතව සිටින අතර ඉහත යෝජනාව සම්බන්ධයෙන් කළ විමසීමකදී ඇමතිවරයාගේ කාර්ය මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ, මහජන ආරක්ෂක අමාත්‍යවරයා සහ ඇතැම් නීතිඥයින් අතර පසුගිය මාස කිහිපය පුරා බරපතල මත ගැටුමක් නිර්මාණය වෙමින් පැවති බවයි.

බොහෝ ප්‍රසිද්ධ නීතීඥවරුන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් මිලියන ගණනින් මුදල් ලබාගන්නා බවට හෙළිවී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා, පසුගිය වසරේ දෙසැම්බර් 18 දා මාතර ප්‍රදේශයේ ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීම සඳහා සංවිධානය කර තිබූ විශේෂ වැඩසටහනකට එක්වෙමින් සිදු කරනු ලැබූ ප්‍රකාශය ඊට මුලික හේතුව වී ඇතැයි ද එම නිලධාරියා කියා සිටියා.

යුක්තිය මෙහෙයුමට එරෙහිව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින් හෙළිදරව් කරමින් හෙට සිට විශේෂ ප්‍රචාරක මෙහෙයුමක් ආරම්භකරන බවද එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියා.